විදෙස් ආධාර කළමනාකරණය කිරීමට විශේෂ කමිටුවක්!
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර නිවරැදි කළමනාකරණයකින් හා සම්බන්ධීකරණයකින් යුතුව බෙදා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් සදූදා (08) ජාතික කමිටුවක් පත් කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මේ වන විට විවිධ රටවලින් විශාල වශයෙන් අධාර තොග ලැබෙන බවත්, ඉදිරියේදී තව දුරටත් මෙම සහනාධාර ලැබීමට නියමිත බවත්, එලෙස ලැබෙන ආධාර නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම කටයුතු අධීක්ෂණය කිරීම මෙම කමිටුවෙන් සිදු කෙරෙන බවද කීය.
මෙම ලැබෙන ආධාර නිසි පරිදි අවශ්‍ය පිරිස් වෙත බෙදා හැරීමේ වගකීම රජය සතු බවත්, වඩාත් කාර්යක්ෂමව සහ නිසි ක්‍රමවේදයකින් සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු කිරීම මෙම කමිටුවේ කාර්යය බවත්, ඒ පිළිබඳ වාර්තාවක් තානාපති කාර්යාලවලටද ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. කිසිදු අවස්ථාවක මෙම ලැබෙන ආධාර අවභාවිතා කිරීමට ඉඩ නොතබන බවද ඒ මහතා අවධාරණය කළේය.
ජාතික ආපදා සහන සේවා අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ අධ්යක්ෂ, ආපද සම්බන්ධව කටයුතු කරන ආයතන රැසක හා ජේෂ්ඨ නිලධාරීන්ගෙන්මෙම කමිටුව සමන්විත බවද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
