ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය මහ රෝහලේ වත්මන් තත්ත්වය සෞඛ්‍ය ලේකම් වරයාගේ නිරීක්ෂණයට

නුවරඑළිය රෝහලේ රෝගී ජිවිත ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය හමුවේ විකල්ප ක්‍රමවේද අනුගමනය කරමින් අඛණ්ඩව රෝගී ප්‍රතිකාර සේවා  පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ඒ සඳහා කැපවෙන රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ  නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට  සහ එම දුෂ්කරතාවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (09) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවසීය.

රෝහල සඳහා අවශ්‍ය හදිසි  මුල්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් මිලියන 53 ක් මුල්‍යාධාර ලබා දී ඇති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත්  පැවසී ය.

ආපදා තත්ත්වය හමුවේ නේවාසිකාගාර වලට හානි සිදුවීම හේතුවෙන් නේවාසිකව සිටි රෝහල් කාර්ය මණ්ඩල  මුහුණදෙන නේවාසික ගැටලුවට ඉදිරියේ දී කඩිනම් විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, නේවාසිකව සිටි කාර්ය මණ්ඩල පිරිසක් රෝහල තුළ තවමත් රැදී සිටිමින් රාජකාරී සිදූ කරන බව ද  සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.

මෙම අභියෝගාත්මක කාලය තුළ රෝහලට සිදුව ඇති හානි ප්‍රතිස්ථාපනය කරන ආකාරය පිළිබඳවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවත් ඉදිරි කාලවකවානු තුළ මෙවැනි ව්‍යසන වලට මුහුණ දීමට රෝහල ශක්තිමත් කිරීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ බව ද ලේකම්වරයා මෙහිදී පැවසීය.

රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය සහ හෙද නිලනිවාස  තුළ නේවාසිකව සිටි කාර්ය මණ්ඩල එම නේවාසිකාගාර  වලින් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පිඨයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ නිලධාරීන් ආපදාවෙන් පසු රෝහලේ වත්මන් තත්ත්වය පරික්ෂාවට ද ලක් කරමින් පවති.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සැළසුම්) එස්. ශ්‍රීධරන්, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරු සුරංග කරුණානායක ඇතුළු නිලධාරීන්, විශේෂඥ, වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

END/GONP/MMP/10122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *