මියගිය පූස් සුරතලා වෙනුවට ක්ලෝන් පූසෙක්

සුරතල් සතුන් ක්ලෝන කිරීම ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොවන බව අමෙරිකාවේ ඔස්ටින් නුවර පදිංචි සමාජ මාධ්‍ය කළමනාකාරිනියක වන කෙලී ඇන්ඩර්සන් පවසනවා.

36 හැවිරිදි ඇන්ඩර්සන්, මියගිය තම සුරතල් පූසා වූ චායි (Chai) ක්ලෝන කිරීම සඳහා ඩොලර් 25,000ක මුදලක් වැය කර තිබුණා. ඒ සඳහා ඇය ණයක් ලබා ගත් බවද ඇය විවෘතව ප්‍රකාශ කළා.

ඇය තම වත්මන් ක්ලෝන කරන ලද පූසා වන බෙල් (Belle) සමඟ ගත කරන ජීවිතය පිළිබඳව ‘Clone Kitty’ වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර තිබෙනවා.

සුප්‍රසිද්ධ පුද්ගලයන් වන ටොම් බ්‍රේඩි සහ බාබරා ස්ට්‍රයිසන් ද තම සුරතලුන් ක්ලෝන කළ බව ලෝකය දැන සිටියද, සාමාන්‍ය පුද්ගලයින් ද මෙම ක්‍රියාවලිය කරන බව තේරුම් නොගන්නා බව ඇන්ඩර්සන් පවසනවා.

ඇන්ඩර්සන් පවසන්නේ ඇගේ මියගිය පූස් සුරතලා ක්ලෝන කිරීම තමා මෙතෙක් ගත් හොඳම තීරණවලින් එකක් බවයි.

රෑග්ඩෝල් වර්ගයේ පූසෙකු වූ චායිගේ ජීවිතය අනපේක්ෂිත ලෙස කෙටි වුණා.

සත්කාරකවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටියදී ආහාර කවරයක් තුළ තිබූ ප්ලාස්ටික් කැබැල්ලක් ගිල දැමීම චායිගේ අසනීපනයට හේතුවුණා.

සතියකට පසු එය සොයා ගත් අතර ප්ලාස්ටික් ඉවත් කිරීම සඳහා සිදු කළ ශල්‍යකර්මයෙන් චායි දිවි ගලවා ගත්තද, නිර්වින්දනයට අහිතකර ලෙස ප්‍රතිචාර දැක්වීමෙන් පසු ඇය මිය ගියේ මාස 5කට පමණ පසුවයි.

චායිගේ මරණයෙන් පසු රාත්‍රියේ නිදිමරාගෙන ක්ලෝනකරණය ගැන පර්යේෂණ කළ ඇන්ඩර්සන් එය චායිගේ උරුමය ඉදිරියට ගෙන යාමට ඇති හොඳම විකල්පය බව වටහා ගත්තා.

ඇය විද්‍යාල ජීවිතයේදී අගභාගයේදී මානසික සෞඛ්‍ය ගැටලු සහ මානසික අවපීඩනය සමඟ පොරබදමින් සිටි අවධියකදීයි චායි ඇගේ ජීවිතයට ඇතුළු වූයේ.

“වෙනත් කිසිම සතෙකුට නොතේරුණු ආකාරයෙන් ඇය මා සමඟ ක්ෂණිකව මිතුරු වී මගේ හැඟීම් තේරුම් ගත්තා” යැයි ඇන්ඩර්සන් පවසනවා.

ඇන්ඩර්සන් 2017 ඔක්තෝබර් මාසයේදී චායිගේ මරණයෙන් ටික කලකට පසු ක්ලෝනකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ඊට අදාළ සමාගම සම්බන්ධ කර ගත්තා.

ක්ලෝනය පෙර සතාගේ පෞරුෂය ඇති නිවැරදි පිටපතක් නොවන බවට සමාගම ඇයට අනතුරු ඇඟවූ අතර, ඇන්ඩර්සන් ද දැන සිටියේ බෙල් නිශ්චිත පිටපතක් නොව, අනන්‍ය නිවුන් දරුවෙකු වැනි වනු ඇති බවයි.

2021 ඔක්තෝබරය වනවිට චායිගේ ක්ලෝන් පිටපත වූ බෙල් ඇන්ඩර්සන්ගේ අතටම ලැබී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed