ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 100ට වඩා තද වැසි – හිරුණි ලක්ෂිකා

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (09) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *