සියලු හෝටල් සංචාරකයින් පිළිගැනීම සඳහා සූදානම් – හෝටල් සංගමයේ සභාපති
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට හෝටල්වල සිරවී සිටීමට අවශ්‍ය නොවන බවත් මීගමුවේ සිට පාසිකුඩා දක්වා සියලුම හෝටල් සංචාරකයන් සඳහා විවෘතව ඇති බවත් ඇතැම් හෝටල්වලට යම් යම් හානි සිදුවුවද සියයට අනූවක් පමණ හෝටල් සංචාරකයන් පිළිගැනීමට සූදානම් බවද හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
අනුරාධපුරය , පොළොන්නරුව සීගිරිය, දඹුල්ල, යාපනය වැනි ප්‍රදේශවල හෝටල්වල සංචාරකයන් මේ වනවිටත් ලැගුම්ගෙන සිටින බව පවසන ඒ මහතා එම හෝටල් නව සංචාරකයන් අපේක්ෂාවෙන් සිටින බවද පෙන්වා දුන්නේය.තවද මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවතින හෝටල් සඳහා ඉදිරි දින දෙක තුළ දී අවශ්‍ය ජලය, විදුලිය ,සන්නිවේදන පහසුකම් සළසා දීමට හැකි වන බවද හෙතෙම සඳහන් කළේය.ප්‍රවාහන පහසුකම් ඉදිරියේදී සකස් කෙරෙන බැවින් එම ප්‍රදේශයන්ද සංචාරකයන්ට විවෘත කළ හැකි බවත් ඒ මහතා කීය.
මීගමුව සිට පාසිකුඩා දක්වා හෝටල්වලට විදුලිය, ජලය, ඇණහිටීමකින් තොරව පැවති බව පෙන්වා දුන් ඒ මහතා හෝටල් සංගමය යටතේ පවතින හෝටල්වල පහසුකම්වල අඩුපාඩුවක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.
රටේ පැවැති ආපදා තත්වය හේතුවෙන් සංචාරක පැමිණීම් කිහිපයක අවලංගු කිරීම් සිදු වුවද ඉදිරි දින දෙක තුළ සංචාරකයන්ගේ පැමිණීම අපේක්ෂා කළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බිඳවැටී ඇති හෝටල් යථා තත්වයට පත් කිරීම සඳහා රක්ෂණ සමාගම්වලින් සහ බැංකු පද්ධතියෙන් ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කළ බවත් රජය මැදිහත් වීමෙන් සංචාරකයන්ගේ වීසා ගැටලුව ඇතුලු ගැටලු රැසකට විසඳුම් ලබා දුන් බවද සඳහන් කළේය.
