වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමට වෙළඳ අමාත්‍යවරයා සහ තිරිඟු පිටි සමාගම්අතර සාකච්ඡාවක්

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන තිරිඟු පිටි සමාගම් හි ඉහළ කළමණාකාරීත්වය සමඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (02) වෙළෙඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක නිරත විය.

මෙහිදී මෙම සමාගම් තුළ මේ වන විට ඇති තිරිඟු පිටි තොග පිළිබඳව සහ සැපයුම් පිළිබඳව විමසීමට ලක් විය. අපාදා තත්වය හේතුවෙන් දිවයිනේ බේකරි කර්මාන්තයට සිදු වී ඇති හානි පිළිබඳව ද ඔවුන්ව දැනුවත් කළ අතර තිරිඟු පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයන් සිදු කරන බේකරි ඇතුළු අනෙකුත් කර්මාන්ත වෙනුවෙන් හැකි සෑම සහනයක්ම ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සඳහන් කරන ලදි . ඒ පිළිබඳව ඔවුන් සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ අතර, වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් අප විසින් ලබා දිය හැකි සියළු සහායන් ලබා දීමට  කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

මීට අමතරව දිවයින පුරා සැපයුම් කඩිනම් කිරීම වෙනුවෙන් මාර්ග පද්ධතිය ඉතා කඩිනමින් යථාවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

මේ වන විටත් මාස 5කට පමණ ප්‍රමාණවත් තිරිඟු පිටි තොග ඇති බවත් මිලෙහි කිසිදු වෙනසක් නොකොට පවත්නා මිල ගණන් යටතේම පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවත් ඔවුන් ප්‍රකාශ කරන ලදි.

END/GONP/MMP/03122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed