ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් තවදුරටත්

ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසීය.

පවතින ආපදා තත්ත්වය පිළිබද ජාතික ආපදා  සහන සේවා මධ්‍යස්ථානයේ ඊයේ , දෙසැම්බර් (02) දා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එ් මහතා මේ බව පැවසීය. කොත්මලේ , මී මුර, රම්බොඩ, නාවලපිටිය ප්‍රදේශවල ආපදාවට පත් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඒ මහතා පැවසීය.

අනාරක්ෂිත තත්වයේ පසු වූ පුද්ලයින් 221ක් දෙනෙකු මේ වන විට යුධ හමුදාව විසින් බේරාගෙන ඇති බවත් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයිද කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ජල සැපැයුම අඩාල වී තිබූ අතර, යුධ හමුදාව විසින්  මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදාහරින බවත්,  බොහෝ විට මහනුවර දිස්ත්‍රික්කයේ ජල සැපැයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්කළ හැකි වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාත තුළද  පුද්ගලයින් 14,978කට අධික ප්‍රමාණයක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් , මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්ථාන 130ක් පමණ ක්‍රියාත්මක  කර ඇතැයිද කීය.

දිවයින පුරා පිහිටි රෝහල් පිරිසිදු කිරීම්, ළිං පිරිසිදු කිරීම් සහ මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට යුධ හමුදාව කටයුතු කරමින් සිටින බවද කීය.

END/GONP/MMP/03122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed