ගම්පහ දිස්ත්‍රික් විශේෂ ආපදා කමිටුව රැස්වේ!
ගම්පහ දිස්ත්‍රික් විශේෂ ආපදා කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී ගම්පහ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සාකච්ඡා කෙරිණ.
ඒ අනුව මේ වනවිට පවුල්17465 ක්, පුද්ගලයින් 71443 ක් අවතැන් වී ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකොට ඇති අතර ඔවුනට අවශ්‍ය පිසු ආහාර ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳවත්, අනතුරට ලක්ව සිටින පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතු, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගැනීම ආදිය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණ.
එසේම මීරිගම ආදී අවශ්‍ය ස්ථානවල පැන නැගී ඇති බෝට්ටු ගැටළු විසඳීමට පියවර මෙන්ම අවශ්‍යතාවය අනුව බෝට්ටු සහ අනිකුත් යන්ත්‍රෝපකරණ ආදිය සපයා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණ.
එසේම දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පැවසුවේ අවතැන් වූ මහජනතාව වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රතිපාදන පවතින අතර අවශ්‍ය වුවහොත් තවදුරටත් ප්‍රතිපාදන ලබා ගත හැකි බවත්ය.
එසේම කැලණි ගඟ ආශ්‍රිතව ඇති වේ යයි අපේක්ෂා කරන මහ ගංවතුර තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට වහාම ඉවත්වන ලෙස දැන්වීමත් , එසේ ඉවත් නොවන ජනතාව පොලිසිය මැදිහත්වීමෙන් ඉවත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසිය වෙත උපදෙස් ලබාදෙන ලදී.
මෙහිදී අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සියලු දෙනාව සම්බන්ධ කරගෙන උපරිමයෙන් කටයුතු කරන බවත් , එන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග ඉංජිනේරු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ, ගම්පහ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ,ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්, විදුලි බල මණ්ඩලය නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් හා රාජ්‍යය නිලධාරීන් පැමිණ හෝ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියහ.
