2026 වර්ෂයේදී ග්‍රාමීය සංවර්ධනයට රුපියල් බිලියන 180ක්

සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (22) පැවැත්විණි.

ප්‍රජාශක්ති වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු පුළුල් ලෙස දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව, සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව, ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳව හඳුන්වා දීම, ඩිජිටල් ආර්ථික වැඩසටහනෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව මෙන්ම, අල්ලස් සහ දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම ආදිය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙහිදී අදහස් දැක් වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට ජාතික නායකත්වය ලබා දීම ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අරමුණ බවයි. මෙතෙක් හුදෙකලාව එක් අමාත්‍යාංශයක සහ ආයතනයක කාර්යභාරයක්ව තිබු දිළිඳුකම තුරන් කිරීම ප්‍රජාශක්ති යටතේ පුළුල් සාමුහික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, රට මුහුණ දී සිටින දිගුකාලින සමාජ ගැටලුවක් වන බහුමාන දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා නවරජයේ සංවර්ධන ප්‍රවේශයන්හි ප්‍රමුඛස්ථානයක් හිමි වි ඇති බවත්, එහිදි ප්‍රධාන ප්‍රවේශ ලෙස සමාජ සවිබල ගැන්විම සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරිම හඳුනාගෙන තිබෙන බවත්ය. ජනතාව වෙත එම ප්‍රතිලාභ ලබා දීමේදී රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2026 වර්ෂයේදී ප්‍රජාශක්ති ඇතුළු අනෙකුත් සංවර්ධන වැඩසටහන් යටතේ ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 180ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළ අතර, දැනට 5%ක්ව පවතින ආර්ථික වර්ධන වේගය 7%ක් දක්වා ඉහළ නංවා ගැනීමේ සහ මධ්‍යකාලීන ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ වැඩපිළිවෙළෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුළුල් කාර්යභාරයක් පැවරෙන බවද පෙන්වා දුන්නේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්යෙ උපාලි පන්නිලගේ මහතා මෙතෙක් කාලයක් අප රටේ දිළිඳුකම තුරන් කිරීමට වැඩසටහන් ගණනාවක් තිබුණා. අද වත්මන් රජය ආරම්භ කර තිබෙන ප්‍රජාශක්ති වැඩසටහන සම්බන්ධයෙන් ඔබතුමන්ලා දැනුවත්ව ඇති බව මා විශ්වාස කරනවා. ප්‍රජා‍ශක්ති ව්‍යාපාරයේ අරමුණු හතරක් තිබෙනවා. එකක් තමයි, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජාතික නායකත්වයක් ලබා දීම. එය ටිකක් සංකීර්ණ වගේ පෙනෙන්නට තිබුණත්, අප කල්පනා කරන්නේ, මෙතෙක් කල් පැවති වැඩසටහන් හුදෙකලාව අමාත්‍යාංශයක, එසේත් නොමැති නම් කිසියම් ආයතනයක කාර්යභාරයක් වෙලා තිබුණා.

අපි ඊට වඩා ජාතික නායකත්වයක අවශ්‍යතාව තේරුම් ගෙන තමයි මෙම වැඩසටහන පුළුල්ව ආරම්භ කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් ජාතික ප්‍රතිපත්ති සභාවක් හදලා, ජනාධිපතිතුමා මේ ජාතික ප්‍රතිපත්ති සභාවේ සභාපතිත්වය දරනවා. දෙවැනුව, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ සහ අන්තර්කරණීය ව්‍යුහයක් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඉහළ සිට පහළ දක්වාම එක් එක් අමාත්‍යාංශ, එක් එක් ආයතන විසින් දිළිඳුකම තුරන් කරනවා කියන කාරණය වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක් අප හඳුන්වා දී තිබෙනවා. මේ ඒකාබද්ධ ප්‍රවේශයේදී ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා අමාත්‍යාංශ 25ම සම්බන්ධ වුවත්, සෘජුවම සම්බන්ධ වන අමාත්‍යාංශ 09ක් අප දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා සෘජුවම කටයුතු කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන තිබෙනවා. මේ සියල්ල ඒකාබද්ධතාවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ වෙනුවෙන් පරිපාලන කේෂ්ත්‍රයේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් අප සකස් කර තිබෙනවා. සෘජුවම මේ වැඩසටහනට සම්බන්ධ වන සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන් වැනි පරිපාලන නිලධාරීන් මේ ඒකාබද්ධ ව්‍යුහය සමඟ ඉහළ මට්ටමින් සම්බන්ධ වෙනවා.

තෙවැනුව, ජන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වා දී තිබෙනවා. මෙය සරල වුවත්, සංවර්ධනය කියන එක ඉහළ සිට පහළට වඩා, පහළ සිට ඉහළට ගමන් කළ යුතු බව අප විශ්වාස කරනවා. එහෙත්, ප්‍රායෝගිකව පහළ සිට ඉහළට ජනසහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා.

අවසාන අරමුණ වශයෙන්, දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වල ඵලදායීත්වය, කාර්යක්ෂමතාව ජනතා සහභාගීත්වයෙන් විමසීම සහ අධීක්ෂණය කිරීම. මේවා තමයි ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණු. ඊට වඩා අනු-අරමුණු තිබෙන්න පුළුවන්. මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනීමේදී ඔබ සැමගේ සහාය අවශ්‍යයි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා –

අප රජයේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි, ජනතාවට කාර්යක්ෂමව, විනිවිදභාවයකින් යුක්තව වගේම සමීපව සේවා ලබා දීම. අප රාජ්‍ය ව්‍යුහය හරහා ඉහළ සිට පහළට යන තෙක්ම ඒ ඒ ස්ථරවල ඩිජිටල්කරණය විය යුතුව තිබෙනවා. ඒ අනුව තමයි, ජනතාවට අවශ්‍ය කඩිනම් සේවා ලබා දිය හැකි වන්නේ. ජිටල්කරණය කරා යන ගමනේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන වියදම අවම කර ගන්න පුළුවන්. මේ ආයතන සමඟ හොඳ සම්බන්ධතාවකින් යුක්තව වැඩ කරන්න අපට අවශ්‍යයි. මෙය ජාතික වැඩපිළිවෙළක්. එම නිසා 2026 වසරේදී මේ අවශ්‍යතා කඩිනමින් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා –

අපි ඔබ මුණගැසෙන පළමු අවස්ථාව බොහෝ විට මෙය වෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්වරු වශයෙන් ඔබ සුවිශාල සේවාවක් ඉටු කරනවා. ඔබ ප්‍රාදේශීය මට්ටමින් ජනතාව සමඟ සමීපව කටයුතු කරනවා. ඒ මහජන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. පසුගිය කාලය තුළ ආණ්ඩු පෙරළියත් සමඟ ජනතාව සුවිශාල වෙනසක් සමාජය තුළින් බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම, දේශපාලනඥයන් සම්බන්ධව. දේශපාලනඥයන්ගේ හැසිරීම් වෙනස් යුතු බවට දැඩි ඉල්ලීමක් තිබුණා.

ඊළඟට ජනතාවගේ ඇඟිල්ල දික් වුණේ රාජ්‍ය නිලධාරින්ට. සමාජය දෙස බැලීමේදී තවමත් නිලධාරීන් වෙත ඇඟිල්ල දික්ව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලනඥයන් කෙරෙහි තිබූ ජනතාවගේ විරෝධය තුළින් දැන් දේශපාලනඥයන් කිසියම් පරිවර්තනයකට, වෙනසකට ලක්ව සිටිනවා සහ වෙලා තිබෙනවා. ඒ ජනතාව බලාපොරොත්තු වෙන වෙනසට අනුකූල වෙන්න රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපටත් සිදුව තිබෙනවා. එය අප අවබෝධ කරගත යුතුව තිබෙනවා.

අප වසර ගණනාවක් තිස්සේ කිසියම් ක්‍රමයකට අනුගත වෙලා රාජකාරි කටයුතු සිදු කරගෙන යනවා. එහෙත් දැන් කිසියම් වෙනසක් ඇති කිරීමට අපි ලැහැස්ති විය යුතුයි. අපි වෙනසක් සිදු කිරීමට පෙළගැසිය යුතුයි. ප්‍රාදේශීය ලේකම්වරුන් අතර බොහෝ පිරිසක් තරුණ සහ පරිපාලනයේ අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරීන්. මේ වෙනසට අනුගත වීමට හැකියාව තිබෙන කණ්ඩායමක්. රජයේ වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී ඔබේ ආයතනය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි.

රජය මුදල් වෙන් කළත්, වැඩ වෙන්නේ උදාසීනව බව ජනතාවගේ චෝදනාවක් තිබෙනවා. අපි මේක තේරුම් ගත යුතුයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අපි වෙනස් වෙලා අලුත් විදිහකට හිතමු. විශේෂයෙන්ම ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම කාර්යක්ෂම වැඩපිළිවෙළට අනුගත කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන ඩිජිටල්කරණ වැඩසටහන් සඳහා අප දැනටමත් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙරට ඩිජිටල්කරණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය විශාල කැපකිරීමක් සිදු කරනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. විජේබණ්ඩාර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික ජයතිස්ස යන මහත්වරු මෙම සාකච්ඡා මණ්ඩලය සඳහා එක්ව සිටියහ.

END/GONP/MMP/23112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *