2027 – පූර්ව ළමාවියට නව විෂය මාලාවක්!
ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ 21 දා ප්‍රකාශ කළේය. මේ සඳහා වන ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ පස්වරුවේ පැවති මෙම වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයින් පිරිසක්ද එක්වූහ. මෙහිදී ක්‍රියාකාරකම් පොත ගුරු මාර්ගෝපදේශ මාලාව සහ ඉගෙනුම් ආධාරක කට්ටල නිල වශයෙන් ලබාදීමද සංකේතවත් කෙරුණි.
විෂය මාලා රාමුව පිළිබදව ජාතික අධ්‍යාපන ආයතනයේ channelnie.nie.ac.lk වෙබ් පිටුවේ එළීදක්වා ඇති බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කොට ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමත් එහි වලංගුභාවය පරීක්ෂා කිරීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා යන සියලු ආයතනවල සහයෝගයෙන් සිදුකළ බව අදාළ නිවේදනයේ දැක්වේ.
යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත.
