කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් 5කගේ වැඩ තහනම් – හිරුණි ලක්ෂිකා
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව විදේශිකයින් රැගත් ජිප් රථ ඇතුලු කර ඔවුන්ගෙන් මුදල් ලබාගත් එම වනෝද්‍යානයේ නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජිත් මාරසිංහ කියා සිටියේ නීති විරෝධී ලෙස වනෝද්‍යානයට ඇතුලු වූ සෆාරි ජිප් රථ 10කට ද නඩු පවරා ඇති බවයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ස්වෙච්ඡාවෙන් සේවය කළ 04 දෙනෙකුගේ සේවය අවසන් කර තිබෙනවා.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ශනය දිනාගත් වන අලින්ගේ සුන්දරත්වය නැරඹීමට ඇති මෙරට සුවිශේෂීම ජාතික වනෝද්‍යානයක් ලෙසයි ලොව ප්‍රකට වී ඇත්තේ.
මෙම වනෝද්‍යානය තුළට දිනකට අති විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන අතර ඉන් රටේ ආර්ථිකයට ද සුවිශාල දායකත්වයක් සැපයෙනවා.
එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය වන කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් රැගත් ජීප් රථ කලක සිට ප්‍රවේශපත්‍ර ලබා නොගෙන උද්‍යානය තුළට ඇතුළු කරන බවට සෆාරි ජීප් රථ සංගම්වලින් චෝදනා එල්ල වුණේ මෙවන් පසුබිමකයි.
විදේශිකයින් ලබා දෙන මුදල් වෙනත් කණ්ඩායමක් අතර බෙදා ගනිමින් මෙම ජාවාරම මහ පරිමාණයෙන් කෙරෙමින් පවතින බවට ඔවුන් චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ වෙත පෞද්ගලිකව ජීප් සෆාරි ජීප් රථ හිමියන් පැමිණිලි සිදු කර තිබූ අතර කොළඹ සිට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පසුගිය දා කවූඩුල්ල ජාතික උද්‍යානයේ හදිසි වැටලීමකට ගොස් තිබුණේ එවන් පසුබිමකයි.
එහිදී කිසිදු පරීක්ෂාවක් නොකොට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව විදේශිකයන්ට වන අලි පෙන්වමින් සිටි ජීප් රථ දහයක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකි වී තිබුණත් පරීක්ෂණ කණ්ඩායම පිළිබඳ අදාළ ජාවාරම්කරුවන්ට තොරතුරු ලැබීමෙන් පසු එම ජීප් රථ උද්‍යානයෙන් හොර රහසේම පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.
සාක් කලාපීය රටවල සංචාරකයෙකුගෙන් ඩොලර් 20ක මුදලක් ද අනෙකුත් විදේශිකයින්ගෙන් ඩොලර් 25ක මුදලක් ද අය කරමින් මෙම කූඨ ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අති විශාල මුදලක් මහා භාණ්ඩාගාරයට යාම වළක්වාලමින්.
