‘මජං අතට අහම්බෙන් පැමිණි පිංසල’ – සරත් මද්දුමාගේ
2025 ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 02 යන දිනවල දී, පානදුර නල්ලූරුවේ ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී අපූරු චිත්‍ර ප්‍රදර්ශණයක් පැවැත්වුණා. විවිධ මාතෘකා යටතේ වෛර්ණවත් චිත්‍ර 24ක් මේ ප්‍රදර්ශණයට සරත් මද්දුමාගේ ඉදිරිපත්කර තිබුණා. ඒ සෑම චිත්‍රයක් ම, ඔහුගේ බාලකාලයේ සිට මෑත අතීතය දක්වා සිය ජීවිතය හා සම්බන්ධ ජීවමාන අත්දැකීම්වල ප්‍රතිනිර්මාණයන් ලෙස ඔහුගේ ප්‍රදර්ශණය හැඳින්වීමේදි ඔහු ප්‍රකාශ කළා. මෙවනි චිත්‍ර ප්‍රදර්ශණයක් , කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් වැනි සුපිරි කලාගාරයක නොපවත්වා, මෙවැනි සරළ සුවිශේෂනීය ස්ථානයක පවත්වන්නට ඔහුට විශේෂ අරමුණක් තිබුණා. සරත් මද්දුමාගේ කියන්නේ තමන්ගේ බාලකාලයේ සිට ජීවීතය එවකට හැඳින්වූ “ළමා නිවාසයක” දී අසීරුවෙන් ගොඩනගා ගත් දක්ෂයෙක්.
අද, ජීවිතය ජයගෙන – ජීවිතය විඳින සෙනෙහබර සැමියෙක්, පියෙක්, සීයෙක් මෙන් ම ලංකාවේ දී මෙන් ම ස්විස්ටර්ලන්තයේ දීත් මානව හිතවාදියෙක්. සටන්කරුවෙක්!
මේ, සරත් මද්දුමාගේ වීසින්ම කියන තමන්ගේ ආදරණීය ජීවිතය සුවඳවත් වුණු ……තෘප්තියට පැමිණි, ඇත්ත කථාවයි…….. අපි කියවමු!

යොවුන් වියේ සිටම (1985) මම ඔට්ටුවුනේ යකඩ එක්ක. යතුරු, කපන කටු , මිටියෙන් තමා මුලිම්ම දුම්රියේ වෘත්තීය ආධුනිකයකු ලෙස වැඩ පටන් ගත්තේ. ලංකා දුම්රියේ දුම්රිය ජල ශක්ති (HLS) ධාවනාගාරයේ රැකියාව ලැබුනේ 1990 අගෝස්තුවේදී. ඊට කලින් කොළඹ වියළි නැව් තටාංගනයේ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් , වෑද්දුම්කරුවෙක් හැටියටත් වැඩ කලා. දුම්රියේ පසුකාලීනව 1995 සිට වෘත්තීය සමීතී ක්‍රියාකාරීකයකු ලෙස ජීවිතයට අලුත් අත්දැකීම් එකතුවුනා. දේශපාලන , සමාජ ක්‍රියාකාරීන් හදුනාගත්තා. දුම්රිය එංජින් එක්ක ගෙවුනු ජීවිතයට අමතරව ඒ කාලයේ කම්කරු – පීඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් ගෙවීගියා.
කම්කරුවන් වෙනුවෙන් දුම්රිය කම්කරු එකතුව අපි ආරම්භ කෙරුවේ 1999 දී . කම්කරු පුවත් පත ” අකුණ ” 2002 දී අපි ආරම්භ කෙරුවේ ශාන්ත විජේසූරිය සහෝදරයාගේ මැදිහත් වීමෙන්. ඔහු එහි ආරම්භ කතෘ වුනා. පසුකාලීනව ඒ වගකීම දැරුවේ මම. ජීවිතයේ උපරීම අවදානම් සහගත කාලය 2007 ත්‍රස්ත පනත යටතේ රඳවා තැබීම දක්වා ගියා. 2009 රැඳවුම්භාරයෙන් මුදාහැරියද , පැවති තත්ය නිසා ලංකාව හැරදමා නේපාලය හරහා 2009 නොවැම්බරයේ ස්වීට්සර්ලන්තයට ආවා. නැවතත් බිංදුවට පහලින් ජීවිතය ගොඩනගා ගැනීමට වෙරදැරුවා.

කුඩාකාලයේ සිට පිටුවහල් ජීවිතය දක්වා විඳි ගැහැට හී උපරීම අවස්ථාවට 2016 දෙසැම්බර් අග වනවිට මුහුණ දෙන්න සිදුවුනා. ඒ මා පශ්චාත් කම්පන තත්යෙන් පීඩා විඳින බව වෛද්‍ය වරුන් නිගමනය කල හෙයින්. ස්වෙච්ඡාවෙන්ම මම සායනයක නේවාසීකව ප්‍රතිකාර ලබාගැනීමට එකඟවුනා. මුලින් වෛද්‍ය නිගමනය වුයේ මා සම්පූර්ණයෙන්ම සිහි විකල් තත්වයට පත්විය හැකි කියා.
” කලින් ඔබගේ රෝග නිධානයට වඩා ඔබ බලවත් ” ඔබ පැහැදිලි කරපු දේවල්, ඔබ විඳි ගැහැට සාමාන්‍යයෙන් දහ දෙනෙකුට උනත් මෙවැනි තත්වයකට පත්වීමට ප්‍රමානවත් ” වෛද්‍ය කංඩායම මට කීවේ එහෙම ..” ඒත් දැන් රෝගී තත්ය ඔබට වඩා ප්‍රබලයි. සමහර විට ඔබට ඉදිරියේදී දුම්රිය කාර්මීක වෘත්තීයේ යෙදීමටත් බැරිවේවි. ඔබට ස්වීට්සර්ලන්තයේ හොද සමාජ සම්බන්ධතා තියෙන කෙනෙක් , ඔබේ මිතුරන් ඔබට උදව් කරාවී වෙනත් රැකියාවක් කරන්න ” එහෙමත් ඔවුන් කීවා.
කෙසේ වෙතත් මාස කිහිපයකින් මා සාමාන්‍ය තත්යට පත්වුනා. මට කැමති විදියට නැවත දුම්රිය සේවයේ වැඩ පටන් ගන්න පුලුවන් වුනා. ” සරත් මෙහේ වැඩකරන අයට පූර්වාදර්ශයක් ! අපි සරත්ව අයින් කරන්නෑ. ඔයා කැමති දවසක , කැමති විදියට වැඩ පටන්ගන්න ” එහෙමයි අපේ ආයතන ප්‍රධානීන් මට කීවේ.
මුලිම් ම මම සතියට පැය හතර ගානේ 20% කට මදක් වැඩි වෙන්න සැහැල්ලු වැඩකලා, කෙමෙන් සතියට පැය 41 ක දක්වා 100% ක් වැඩකලා . සෑම වැඩක්ම කරන්න පුලුවන් වුනා.

ඉතින් අර සායනයේ හිටපු කාලේ තමා අහම්බෙන් පිංසල මගේ අතට ආවේ ඒ ” පිංතාරු චිකිත්සාවක්” ලෙස. වැඩේ මගේ හිතට ඇල්ලුවා. දීගටම පිංතාරු චිකිත්සාව කලා. චිත්‍ර 100 ක් විතර ඇදුනා. 2018 දී මගේ මුල්ම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ” පිටුවහලේ ඇදි සිතුවම්” කියලා ඉදිරිපත් කළා.
ඒ වර්ෂයේදී ම නේපාලේත් මෙම චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්න පුලුවන්වුණා. 2020 ස්වීට්සර්ලන්තයේ ස්ථාන දෙකක දී ” දිවිගලවා ගැනීම වෙනුවට ජීවිතය විඳීම ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූවා.

2024 දී ස්වීට්සර්ලන්තයේ දී ඝාසා හී ජන සංහාරයට එරෙහීව ” යුද්ධය වෙනුවට සාමය ” ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කලා. එහි සියලූම ආදායම ඝාසා හී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කලා.
මට ඉතාමත් සතුට ගෙන දෙන්නක්වූයේ පසු ගිය ඔක්තෝබරයේ , පානදුරේ, නල්ලූරුවේ ” ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වූ ” ජීවිතය විඳීම පිනිස ” චිත්‍ර ප්‍රදර්ශනය . ඒ වගේම ලංකාවේ චිත්‍ර ශිල්පීනියන් , ශිල්පීන් එකතුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවතී ” සිත් රූ 2025 ” චිත්‍ර ප්‍රදර්ශනයට මගේ චිත්‍ර කිහිපයක්ද ඉදිරිපත් කිරීමට ලැබීම. ඒ සඳහා මා වෙනුවෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සිදුකළ ගීතිකා සොහොයුරියට මෙන්ම . ඊට අවශ්‍ය ඉඩකඩ ලබාදුන් ” සිත් රූ ජාතික සංසදයේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් සොහොයුරාට ද මගේ කෘතඥතාවය හිමියි.

නල්ලූරුව ළමා සංවර්ධන මධ්‍යශ්ථානයේ ම මම මෙවර මගේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න තීරණය කළේ, මිහිරි අමිහිරි අත්දැකීම් තිබුණත්, ජීවිතය දිහා ආපසු හැරී බලනකොට, ඒ ස්ථානය මගේ ජීවිතයට විශාල වෙනසක් කළ ස්ථානයක්. මගේ ජීවිතය ගොඩනගාගන්න අතහිත දුන්න තැනක් විදියට මම දකිනවා. ඒ ගැන මගේ ස්තූතිවන්ත භාවය ප්‍රකාශ කරන්න තමා ඒ ස්ථානය තෝරාගන්න මම තීන්දු කළේ. ඒ වගේම ඒ ළමානිවාසයේ හැදෙන දරුවන්ගේ මානසීක මට්ටම මම දන්න නිසා ඔවුන්ගේ සිතට ශක්තියක් වෙන්න, ඔවුන් තනි නැහැ කියන හැගීම් ඔවුන් තුළ ඇතිකරන්න ඔිනේ කියන අදහසින් තමයි එදා ඒ ස්ථානය මම තෝරාගත්තේ.
මම විශේෂයෙන් කියන්න කැමතියි, ළමා නිවාසයක හැදෙන දරුවෝ ගැන සමාජයේ තිබෙන ආකල්ප ඉතාම වෙනස් වුවත්, දරීද්‍රතාවය නිසා දරුවෙක් රැකවරණ මධ්‍යශ්ථානයක පිහිට පැතීම සමාජ ප්‍රශ්නයක් මිස , දරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. එවැනි ස්ථානයක හැදිච්ච දරුවෙක්ට තමන්ගේ ඉතිහාසය ගැන කණගාටු වෙන්න දෙයක් නැහැ.

බාහිර සමාජය ඒ ගැන දක්වන ආකල්පය ඉතාම වෙනස් වුනත් ඒ සමාජයටත් පණිවුඩයක් දෙන්න ඕනේ. ඒක සමාජය තුළ කොන්වීමට /කොන්කිරීමට කාරණාවක් නොවන බවට යම්කිසි ඉතිහාසයක් තිබෙන කෙනෙක් ඒ ඉතිහාසය සගවන්න අවශ්‍ය නැහැ කියන කාරණය පෙන්වන්න ඕනේ.
මෙවැනි දෑ කිරීමට මට සමාජයෙන් ලැබෙන සහාය මෙන්ම මා පරිපූර්ණ පුද්ගලයකු නොවන බව මා දැන සිටීම යන කාරණා දෙක මට ශක්තියක් ගෙන දෙනවා.
– සරත් මද්දුමාගේ
