වසර 70කට පසු චීනයේ ලොකුම රන් නිධිය සොයාගැනේ – නිෂිකා හංසනී
චීනය විසින් 1949 වර්ෂයෙන් පසු විශාලතම තනි රන් නිධිය සොයාගෙන තිබෙනවා.
එරට ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසන පරිදි, ඊසානදිග ලියාඕනිං පළාතේ පිහිටි ඩැඩොන්ගූ රන් ආකරයේ තහවුරු කරන ලද සමස්ත රන් ලෝහ ප්‍රමාණය ටොන් 1,444.49 ක්.
මෙම නිධිය මහා පරිමාණ, විවෘත පතලක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
චීන රජයට අනුබද්ධ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මෙම ආකරය දැනටමත් ආර්ථික ශක්‍යතා තක්සේරුවකින් සමත් වී ඇති අතර, එය සංවර්ධන කටයුතු සඳහා මග පෑදී ඇති බවයි.
නිලධාරීන් පැවසුවේ මීටර් 720 (අඩි 2,362) උන්නතාංශයට ඉහළින් ඇති ප්‍රදේශයේ, ටොන් 2.586 බිලියනයක් ලෙස ඇස්තමේන්තු කරන ලද ලෝපස් අඩංගු වන බවයි.
මෙම ලෝපස්වල සාමාන්‍ය රන් ප්‍රමාණය ටොන් එකකට ග්‍රෑම් 0.56ක් (අවුන්ස 0.02ක්)
අදාළ රන් ආකරය හඳුනාගෙන ඇත්තේ අසාමාන්‍ය ලෙස වේගවත් වූ මාස 15ක ගවේෂණ ක්‍රියාවලියකින් පසුවයි.
මෙම සොයාගැනීම අනාගතයේදී උසස් තත්ත්වයේ ඛනිජ සමීක්ෂණ සඳහා ආදර්ශයක් බවට පත් විය හැකි බවට එරට වාර්තාවල සඳහන් වනවා.
