වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම ජාතිවාදී මාතෘකාවක් නොවිය යුතුයි ලංකා කම්කරු රතු කොඩි සංගමය කියයි – මොහොමඩ් ආසික්
වසර 200 ක් මෙරට ආර්ථිකයට දායකත්වය සපයන වතු කම්කරුවන්ගේ රුපියල් 200 ක වැටුප් වැඩිවීම ජාතිවාදි මාතෘකාවක් නොවිය යුතු බව ලංකා කම්කරු රතු කොඩි සංගමය ප්‍රකාශ කරයි.
මහනුවර පිහිටි ලංකා කම්කරු රතු කොඩි සංගමයේ කාර්යාලයේදී අද 14 වනදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්දි සිවසුබ්‍රමනියම් මහත්මිය මේ බව කීවාය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ලංකා කම්කරු රතු කොඩි සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්දි සිවසුබ්‍රමනියම් මහත්මිය මෙසේද කීවාය.
අද වන විට අපට වතු කම්කරුවන් කියන්නේ කවුද කියන එක ගැන සමාජය දැනුවත් කරන්න වෙලා තියෙනවා. ඒක ඉතාම ශෝචනීය තත්වයක්. අවුරුදු 200 ක් තිස්සේ මේ රටේ ආර්ථිකයේ කොඳු ඇටයක් හැටියට වැඩ කරලා අද වන විට අපි හැමෝම භුක්ති විඳින තේ කෝප්පය අපේ අතට ලබා දෙන්න තමන්ගේ ශ්‍රමය දීල තියෙන්නේ මේ වතු කම්කරුවන් මේ වන විට ජාතිවාදී ස්වරූපයෙන් සාකච්ඡා වන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 200 ක් තිස්සේම මේ කම්කරුවන්ගේ ශ්‍රමයට හරියන වැටුපක් ලැබිල නෑ. 2003 දී සාමුහික ගිවිසුම පටන් ගත්තත් අවුරුදු දෙකෙන් දෙකට සාමුහික ගිවිසුම් යන කොටත් සමාගම් කිව්වේ කම්කරුවන්ගේ පඩිය වැඩි කරන්න තරම් ලාභයක් නෑ කියලයි. මෑත කාලයේ පඩිය රුපියල් 1000 කරන කොටත් ලාභයක් නෑ කිව්වා. 1350 ක් දක්වා වැඩි කරන කොටත් ලාභයක් නෑ කිව්වා. 1550 ක් කරන කොටත් ලාභයක් නෑ කියලයි කියන්නේ. එහෙම නම් මේ වගේ සමාගම්වලට මේ වතු නඩත්තු කරන්න බෑ කියන එක පැහැදිලියිනේ. ඒ අයට ඒක කරන්න බැරි නම් දීල යන්න ඕන .
වතු කම්කරුවන්ගේ මේ වැටුප් වැඩි විම ජාතිවාදි ස්වරූපයෙන් එන මාතෘකාවක් බවට පත්වීම තුලින් මේ කම්කරුවන්ට දීල තියෙන ගෞරවය මොකද්ද? රුපියල් 200 න් අද මොනවද කරන්න පුළුවන්. සමාජය තුල ඇති වෙන්න ඕන කතාබහ මේ රුපියල් 200 න් මොනවද කරන්න පුළුවන් කියන එකයි.මේ රුපියල් 200 දෙන්නේ කොහොමද ඒක ප්‍රමාණවත්ද කියන සාකච්ඡාව ඇති වෙලා නෑ. රජය පැත්තෙන් වැඩි වෙලා තියෙන මේ රුපියල් 200 තමයි හැමෝටම මාතෘකාවක් වෙලා තියෙන්නේ. වතු කම්කරුවන් කියන්නෙත් මේ රටේ පුරවැසියන්. අපිත් මේ රටට දායකවයක් දීල තියෙනවා. අපිත් බදු මුදල් ගෙවනවා.අපට රුපියල් 200 ක් වැඩි කරන එක මාතෘකාවක් වෙන්න බෑ. නමුත් සමාගම් පැත්තේ තියෙන කාරණාව අපි හොයල බලන්න ඕන .ලංකා කම්කරු සංගමය හැටියට අපේ ස්ථාවරය තමයි වතු කම්කරුවන්ගේ පඩි වැඩීම ජාතිවාදී මාතෘකාවක් නොවිය යුතුයි කියන එක සහ වතු කම්කරුවන්ගේ වැටුප අනිවාර්යෙන්ම වැඩි විය යුතුයි කියන එකයි යැයිද ප්‍රධාන ලේකම්වරිය තව දුරටත් කීවාය.
මෙම සංගමයේ ප්‍රධාන අනුශාසිකාව වන මේනකා කන්දසාමි මහත්මියද මෙහිදි අදහස් දැක්වූවාය.
