ළමා මානසික සෞඛ්‍යය වෙනුවෙන් ඩෙන්මාර්කයෙන් ඓතිහාසික තීරණයක්- නිශිකා හංසනී

සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් සඳහා අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමට ඩෙන්මාර්ක රජය එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමා මානසික සෞඛ්‍යය පිළිබඳව ඇති වූ දැඩි කනස්සල්ල හේතුවෙන්, අගමැති මෙටේ ෆෙඩ්රික්සන් (Mette Frederiksen) විසින් පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඩෙන්මාර්කයේ ඩිජිටල්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “යුරෝපා සංගමයේ ප්‍රථම රටවල් අතරින් එකක් ලෙස ඩෙන්මාර්කය සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවන් හඳුන්වා දෙමින් ඉතා වැදගත් පියවරක් තබනවා. මෙය සිදු කරන්නේ ඩිජිටල් ලෝකය තුළ ළමයින් සහ තරුණයන් ආරක්ෂා කිරීමටයි.” යනුවෙන්.

අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ, “හානිකර අන්තර්ගතයන්ට හෝ හානිකර විශේෂාංගවලට ඔවුන් නිරාවරණය කළ හැකි වේදිකාවලට අවුරුදු 15ට අඩු ළමයින්ට ප්‍රවේශය නොදීම මූලික වශයෙන් අපේක්ෂා කරන බවයි.”

කෙසේ වෙතත්, මෙම තහනමට ව්‍යතිරේක ද ඇති බව අමාත්‍යාංශය සඳහන් කරන අතර, එහිදී, තම දරුවාට කලින් වයසක දී සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය යුතු යැයි දෙමාපියන් විශ්වාස කරන්නේ නම්, ඔවුන්ට අවසර ලබා දිය හැක.

නිවේදනයට අනුව, අවුරුදු 13 වැනි කුඩා දරුවන්ට පවා දෙමාපියන්ගේ සම්පූර්ණ කැමැත්ත මත අදාළ වේදිකා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙම තීරණය මඟින් බලපාන සමාජ මාධ්‍ය වේදිකා මොනවාද යන්න හෝ මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යාංශය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed