අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කාදිනල්තුමන්ගෙන් රජයට චෝදනා – පහන් සිතුමිණ
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කුඩා දරුවන්ට “අනවශ්‍ය ලිංගික අධ්‍යාපනයක්” ලබා දීමට රජය සූදානම් වන බවට මීරිගම පැවති වැඩසටහනකදී දැඩි ලෙස චෝදනා එල්ල කළහ.
උන්වහන්සේට අනුව, 6 ශ්‍රේණියේ සිට හඳුන්වා දීමට නියමිත නව පාඨමාලාවක් මගින් සමලිංගික සම්බන්ධතා සහ උපත් පාලනය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතු බව කාදිනල්තුමන් අවධාරණය කළහ.
මෙම ක්‍රියාමාර්ග පිටුපස සිටින්නේ රට විනාශ කිරීමට අරඅඳින ජාත්‍යන්තර සංවිධාන බවත්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය (UNFPA) අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් දී මෙම විෂය නිර්දේශ මුද්‍රණය කරවන බවත් උන්වහන්සේ චෝදනා කළහ.
මෙම පාඩම් ලබන ජනවාරි 27 වැනිදා සිට පාසල්වල ඉගැන්වීමට නියමිත බවට ද වාර්තා වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
බටහිර ලෝකයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට අපේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කළ කාදිනල් හිමිපාණන් වහන්සේ, මේ පිළිබඳව සොයා බලා මෙම කටයුතු වහාම නතර කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
