ශ්‍රි ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව එළඹෙන 12 වැනිදා

ශ්‍රි ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව එළඹෙන 12 වැනිදා බත්තරමුල්ල වෝට(ර්)ස් එ්ජ් හෝටලයේ දී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 16 වන සයිබර් ආරක්ෂණ සමුුළුව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “ශ්‍රි ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම” යන්නයි.

මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රචාරක සංසදය ( Sri Lanka CERT) ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

දේස් විදෙස් නියෝජිතයින් , ප්‍රතිපත්ති සම්පාදකයින් ,තොරතුරු කර්මාන්තයේ නිරත වෘත්තීයවේදීන් , ශාස්ත්‍රඥයින් , තාක්ෂණ විශේෂඥයින් , රජයේ,පෞද්ගලික අංශයේ , ව්‍යාපාරික සමාගම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයින් සහ ආරාධිතයන් 400කට අධික සංඛාවක් මෙම සමුළුවට සහභාගී වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

16 වන වරට පැවැත්වෙන මෙම සමුළුව ඉතාමත් සුවිශේෂි බව පැවසු අමාත්‍යවරයා , රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ වන්නේද ඩිජිටල්කරණය බවත් රජයේ විශාල සේවාවන් ප්‍රමාණයක් ඉදිරියේදි ඩිජිටල්කරණය කිරීමට බලාපොරොතු වන බවත් ඩිජිටල් කර්මාන්තය නගා සිටුවීමට කඩිනමින් කටයුතු කරන බවත් සඳහන් කළේය.

මේ වනවිට GOV PAY හරහා ගෙවීම් කටයුතු කිරීම සාර්ථකව සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , ඩිජිටල් හැඳුනුම්පත , ඩිජිටල් රියදුරු බලපත්‍රය , QR කේතය හරහා ගෙවීම් සිදු කිරීමට හැක තාක්ෂණය හඳුන්වා දෙන බවත් මේ සේවාවන් ආරක්ෂිත තබා ගැනීමට අවශ්‍යය බව පැවසීය.

මෙම පද්ධතිවල සංවේදි දත්ත ඇති බවත් ඒවා සුරක්ෂිතව තබා ගැනීම මේ සම්බන්ධ ආයතන සහ රජයේද වගකීම බවත් ජනතාවට අඛන්ඩව මෙම සේවාවන් ලබා දිමටත් ජනතාවගේ විස්වාසය ඇතිව මෙම සේවාවන් පවත්වා ගැනීමටත් සයිබර් ආරක්ෂාව ඉතාම අත්‍යවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

මෙවැනි සමුළුවලින් ලෝකයේ ඇති දැනුම ලංකාවට ගෙන ඒමට හැකියාව පවතින බවත් එහිදී ඇතිවන සාකච්ඡා ලංකාවේ මෙම ක්ෂේත්‍රෙය් සිටින ප්‍රවීණයන්ට දැනුම වර්ධනය කිරීමට වැදගත් වන බවත් ලංකාවේ සිටින එම තිබෙන දැනුම ඇති පුද්ගලයන්ගේ වටිනාකම අපට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ජාතික දත්ත ආරක්ෂණ පනතක් ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ හරහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

END/GONP/MMP/06112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *