සුනාමි කුලුනු 77ම වැඩ නැහැ -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය!

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම පවතින්නේ අක්‍රිය තත්ත්වයක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පැවැසීය.

අද (05 වැනිදා) පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මෙම සුනාමි කුලුනු සඳහා සංඥා ලබාදීමට අදාළව අභ්‍යාවකාශයේ රඳවා තිබූ චන්ද්‍රිකාව ක්‍රියාත්මක නොවීම නිසා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77 ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවැසුවේය.

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු නැවත සක්‍රීය කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඔහු පැවැසීය.

දැනට වසර තුනක සිට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු අක්‍රිය තත්ත්වයක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පැවැසීය.

මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනක් ඉඳිකිරීම සඳහා රුපියල් මිලියන 4 ක පමණ මුදලක් වැයකර ඇතැයි ද ඔහු පැවැසුවේය.

එම එක් කුලුනකින් වර්ග කිලෝමීටර් තුනක ප්‍රදේශයක් ආවරණය කෙරෙන බවත්, ඊට වඩා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද 15 ක් තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු එක ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේය. පූර්ව අනතුරු ඇඟවීමේ එක් පද්ධතියක් අසාර්ථක වුවහොත් අනෙක් විකල්ප ක්‍රමවේද 14 ක්‍රියාත්මක වියයුතු බවද ඔහු කීවේය. එම ක්‍රමවේද සියල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සකස් කර ඇතැයි ද ඔහු පැවැසීය. කුලුනු අක්‍රිය වූවත් කුලුනු හරහා නිකුත් කළයුතු පණිවුඩය ප්‍රජාවට ලබාදීමට ගම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව එක්ව මේ සියලු ක්‍රමවේදයන් සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.

මෙම චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයට අයත් සමාගමකට අයත් එකක් බව පැවසෙන අතර, මෙම චන්ද්‍රිකාව මගින් සංඥා ලබා ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය විසින් එම සමාගමට රුපියල් මිලියන හතක මුදලක් වාර්ෂිකව ගෙවා ඇතැයි ද අනාවරණය වේ.

Copied : https://www.aruna.lk/articles/dlBRVqLUvKDa4FPfmdLy
END/TM/MMP/05112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed