කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිල වශයෙන් භාර ගැනේ

කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිල වශයෙන් භාර ගැනීම අද (03) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යතුමිය පැවසුවේ ශ්‍රී ලංකා රජය හා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) අතර ඇති කරගත් සම්බන්ධතා සහයෝගීතාවක ප්‍රතිඵලයක් ලෙස කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය පිහිටුවන ලද බවත්, අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය විෂය ධාරා හදාරන සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට සුදුසුකම් ලත් තාක්ෂණික ගුරුවරුන් පුහුණු කිරීම මෙම ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බවත් ය.

අමාත්‍යතුමිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම වටිනා සම්පත් සහිත භුමියෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව සිදු කිරීමට නියමිත වෘත්තීය අධ්‍යාපනය සඳහා ද අවශ්‍ය ප්‍රයෝජන ලබා ගතහැකි බවයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ KOICA ව්‍යාපෘතිය එක්ව සකස් කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස, ඉදිකිරීම් කටයුතු හා අනෙකුත් සේවා සඳහා ඩොලර් මිලියන 15ක ආධාර අරමුදලක් ලබා දී ඇත.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ විෂය ධාරා තුනක් අනුව සිසුන් 210 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරන අතර 2026 වර්ෂයට අදාළ සිසුන් බඳවා ගැනීමට නියමිතය. මෙම විද්‍යාපීඨය තුළ ජෛව පද්ධති විද්‍යාගාර 09ක්, ස්මාර්ට් ලැබ්, ඊ–පුස්තකාලය, සහ බහු කාර්ය ගොඩනැගිලි ද ඇතුළත් වේ. එමෙන්ම සිසුන් 630ක් සඳහා නේවාසික පහසුකම්ද සපයා ඇති බවද සදහන් වේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තාක්ෂණ අධ්‍යාපනය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට දැක්වෙන වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැක.

කුලියාපිටිය නාරංගල්ල පැවති මෙම උත්සවය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ( Yooli LEE) , විද්‍යාපීඨ කොමසාරිස් පී.ඩී. ඉරෝෂිණී කේ. පරණගම ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

END/GONP/MMP/03112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *