මල්විල ගමේ අලුත් ආරම්භයක් – දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මල්විල ගම්මානය බැලු බැල්මට සුන්දර යැයි සිතුව ද, එහි වැසියන්ගේ ජිවිත ඇතුලේ මා දුටු දුක්ඛදෝමනස්සයන් ඔවුන්ගේ විඩාබර මුහුණුවලින් දැකිය හැකි විණි. ගමට ඇතුල් වී ඉදිරියට ගමන් කරන විට ගමට එන ප්‍රධාන පාර මෙසේ නම් ගම් මැද පාරවල් කෙසේවිය හැකිදැයි සිතා ගන්නට ද අසීරු විය. බැලුබැල්මට මහ සුවිසල් වනාන්තරයක් වන සතුන්ගෙන් උදුරාගෙන, අලින් එලවන්න වෙහෙසිම කොතෙක් දුෂ්කර ක්‍රියාවක්දැයි නොදැන කරන ක්‍රියාකාරකම් බොහෝ වුවත්, ඒ සියල්ල අසාර්ථක වෑයමක් සේ තවමත් කිසිවෙක් තේරුම් නොගැනීම ම ප්‍රජාව සහ නායකත්වය අතරේ ගැටුම් ඇති කරයි. කජු සහ විවිධ බෝගවලට සරුපසක් වී ඇති මේ ගම දැන් අලින්ගේ ආක්‍රමණයට හසුව ඇත. ගැමියන් වෙහෙස මහන්සි වී කරන වගාවත්, ලබා ගන්නා අස්වැන්නත් අලින් නිසා විනාශ වීම වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවලට පමණක් සීමා වී තිබෙන දේශපාලන සෙල්ලමකි. අලි ප්‍රශ්නය සහ ජල හිඟය නිසා දැඩි අභියෝගයකට මුහුණ දෙන මේ ගම්වැසියන් තුල මා දුටුවේ දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය කේන්තියේ සෙවනැලි වේ.
ප්‍රජා ජල ව්‍යාපෘතිය
ගමේ ජනතාව වසර ගණනාවක් තිස්සේ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගමික ජනකොට්ඨාශයක් ලෙස එකට එක්ව ජිවත්වීමට පුරුදු වී සිටීම සහ සමාජ ගැටලු විසඳා ගැනීමට එක්ව නවමං සොයන්නට පුරුදු පුහුණු වී සිටීම අපට අසන්නට දකින්නට ලැබුනු අලුත් අත්දැකීමකි. ඔවුන්ගේ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස වසර ගණනාවකට පෙර ආගමික ගැටළු සමථකරණය ට පුත්තලම අන්තර් ආගමික කමිටුවේ මගපෙන්වීමෙන් මල්විල ගමේ විවිධ ආගම් සහ ජාතීන්ට අයත් ජනතාව එකට රැස්වී ආගමික සහ දේශපාලන නායකයන් සමග එක්වී ගම්මානයේ ප්‍රධාන ගැටලුව වූ ජලය, අධ්‍යාපන පහසුකම්, සහ අලි ව්‍යසනය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලදි. අන්තර්ආගමික කමිටුව සහ ප්‍රාදේශීය අධිකාරීන් එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් අද පවුල් 50කට පමණ ජලය ලබාගත හැකි ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කෙරිනි.

දහම් පාසලක් – සියලු ආගම්වල ළමයින්ට එකම තැනක්
ගමේ දහම් පාසල් ක්‍රමය ද අලුත් මානයක් ගැනීම සතුටුදායකය. මින් පෙර බෞද්ධ ළමයින්ට පමණක් තිබුණු දහම් පාසලක්, දැන් සියලු ආගම්වල ළමයින්ට විවෘත විණි. පන්සල අසල තිබූ ශාලාව අලුත්වැඩියා කොට එය අන්තර්ආගමික දහම් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කෙරිණි. මෙම පියවරට ආගමික නායකයන්ගේ සහය සහ ආශිර්වාදය ද ලැබුණි. ජාති ආගම් ලෙස බෙදී ගැටුම් ඇති කරගන්න මෙවන් යුගයක මල්විල ගම්මානයෙන් මෙවැනි පියවරක් ගැනීම, සමාජ සංවාදයකට ඉඩකඩ විවර කල යුතු කාලයක් වශයෙන් ද සංඥා කරයි.

අලි ප්‍රශ්නයක් වීම හා තවමත් විසඳුුුම් නොමැති වීම
“අලි ප්‍රශ්නය විසඳන්නේ නැතුව මොන ප්‍රශ්නෙට පිළිතුරු සෙවුවත් තේරුමක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්ණය ගැන අපි කොච්චර කතා කළත් අපිට විසඳුමක් ලැබුණේ නැහැ. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කතා කළ යුතුයි. හවස 4 වෙනකොට අලි ගමට එනවා. අපිට එලියට යන්න බැහැ. උදේට අලි කැලේට යනකන් ඉන්න ඕනේ ළමයින්ව ඉස්කෝලේ යවන්න. අපට කිසිම වගාවක් කරගන්න බැහැ. අපිට ආධාර එපා. අපේ දරුවන්ට කන්ඩ දෙන්නත් එපා. අපිට සරුසාර පසක් තියනවා. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ අලි ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියන එක විතරයි.” ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ තිරසර අලි වැටක් සකස් කර දීම පමණි. මේ පිළිබඳ සොයාබලා පියවර ගැනිමට එතැන සිටි දේශපාලන නායකයින් පොරොන්දු ලබා දුණි. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ජේ. මොහොමඩ් ෆයිසාල් මැතිතුමාගේ මැදිහත්වීම ද සැලකිය යුතු අවධානයකට යොමුවිය.
මල්විල ගමේ මිනිසුන් නිරන්තරයෙන් මුහුණ දුන් ගැටලුවලට යම්තරමක හෝ පිළිතුරක් ලැබුනේ එම ජනතාව තුල දක්නට තිබු එකට එක්ව ප්‍රශ්ණ විසඳාගැනීමට තිබු හැකියාව පමණක් නොව, තමන්ගේ වෙනස්කම් ද අගය කිරීමට ඔවුන් සතු වු හැකියාවයි.
මිනිසුන් විසින් මිනිසුන් අතර පවතින වෙනස්කම් අගයන්නට නොදන්නා කමින්, ඔවුන් බෙදී වෙන්වී සිටින තාක් කල්, පාලකයින් ඔවුන්ගේ සමාජ වගකීම් පැහැර හැරීමට හේතුවක් කරගැනීම මනාව නිරීක්ෂණය කළ හැක. ආගම, ජාතිය සහ විවිධ දේශපාලන මතිමතාන්තර සමාජය බෙදීමකට ලක් කෙරුනු යුගයක, මල්විල ජනතාව පෙන්වන්නේ එකමුතුකම තුළ සාමය, සංවර්ධනය සහ විශ්වාසය ගොඩනගා ගත හැකි බවයි. පුත්තලම අන්තර්ආගමික කණ්ඩායමේ මේ අලුත් නැමියාව, ඒ සාම සංවාදය, ගම්නියම්ගම් පුරා ව්‍යාප්ත වීම කාලීන අවශ්‍යතාවයක් මෙන් ම එය ග්‍රාමීය ප්‍රජාවට මහගු ආශීර්වාදයකි.
Sr. Deepa Fernando
සටහන සහ ඡායාරූප : දීපා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය – පුත්තලම
