දරුවන් හිංසනයෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගන්න එකාබද්ධ වැඩපිළිවෙලක් හා නියාමනයක් අවශ්‍යයි – අගමැතිනිය
“දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩිදියුණු කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි”
දරුවන් හිංසනයෙන් වළක්වා ගැනීමත්, අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය මෙන්ම මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදු වැඩ පිළිවෙලක් අවශ්‍ය බවත් නිසි නියාමනයකින් යුක්තව දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩි දියුණු කිරීම රජයේ පරමාර්ථය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පොදු මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මෙම අහිතකර බලපෑම අවම කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම උදෙසා, මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා වගකීම දරණ සියළුම රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් “බහු පාර්ශවීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය වැඩසටහන” ආරම්භ කෙරිණ.
ඒ අනුව එම වැඩසටහනෙහි තෙවන සාකච්ඡාව අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල මැදුර පරිශ්‍රයෙහි 19වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ු අග්‍රාමාත්‍යතුමිය, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය, කාන්තා හිංසනය වැළැක්වීම, ළමා අපචාර වැළැක්වීම , අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය, යන මේ සියලු කාරණා පොදු වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවද මෙම වැඩ පිළිවෙළට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය. ඊට සමගාමීව ප්‍රාදේශීය අධ්‍යාපන ප්‍රතිපත්තිය ද සකස්වීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
මෙම වැඩපිළිවෙල පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේදී ක්‍රමවත් බවකින් හා නියාමනයකින් යුක්ත වීම තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගතහැකි බවත් ගුරුවරුන්ගේ රාජකාරි කටයුතුවලට බාධාවක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට ගැලපෙන පරිදි යාන්ත්‍රණය සැකසී ඇති බවත්, එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු හඳුනාගෙන බාධක ඉවත් කිරීමෙන් වැඩසටහන සාර්ථක කරගැනීමට හැකියාව උදා කරගත හැකි බවත් මෙහිදී අදහස් දැක් වූ ආරක්‍ෂාක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.
පාසල් තුල සිටින දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නොවන අතර අත්හදා බැලීම් සිදු කරන දරුවන් බැවින් දුම්කොළ හා විෂ මත්පැන් භාවිතයෙන් වළක්වා ගැනීම වැදගත් බවද මෙහිදී අවධාරණය විය.
මෙහිදී ඖෂධ වට්ටෝරු( prescription) නොමැතිව ඖෂධ ලබාදෙන ඖෂධහල් ( pharmacy) පිළිබඳ මේ වන විට අදාල ආයතන ගෙන ඇති පියවර පිළිබඳව, හෝමාගම නව පොලිස් කොට්ඨාසයට අවශ්‍ය නිලධාරීන් හා වාහන පිළිබඳ ගැටලුව සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව, පාසල්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සම්බන්ධ නියාමනයන්, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳ පවතින විවිධ විවේචන පිළිබඳව, පාසල තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කිරීමට අවසර දෙනු ලබන ආයතන (අධ්‍යාපන අමාත්‍යංශය) , අනාරක්ෂිත දරුවන් සම්බන්ධයෙන් යම්කිසි සාධනීය පියවර පිළිබඳව, ස්වේච්ඡා පුනරුත්ථාපනය හා අධිකරණ නියෝග මත සිදුකරන පුනරුත්ථාපනය සඳහා පවතින නීතිමය ප්‍රතිපාදනයන් සම්බන්ධ නිරවුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම පිළිබඳ සහ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පොලිස් කොට්ඨාශ මට්ටමින් ප්‍රගතිය හා පෙර රැස්වීම් වාරයේ සාකච්ඡා කරන ලද ගැටලු වල ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, දිස්ත්‍රික්ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර,බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
END/PMMD/MMP/30102025
