අස්වැසුම දෙවැනි අදියරේ ප්රතිලාභ ගන්න කඩිනමින් බැංකු ගිණුම් විවෘත කරන්න – හිරුණි ලක්ෂිකා
“අස්වැසුම” සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා වන වැදගත් දැනුම්දීමක් අස්වැසුම සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම දැනුම්දීමට අනුව, දෙවන අදියර සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන මේ වන විටත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අනුව ප්රතිලාභ ලැබීමට නියමිත සියලු දෙනාට එම කාර්යාල වෙත ගොස් තම නම් ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ අවස්ථාව හිමි වෙනවා.
ප්රතිලාභ බැර කිරීමේ ක්‍රියාවලියේදී පවතින ප්‍රධානතම ගැටලුවක් ලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැතිකම හඳුනාගෙන ඇතැයි මණ්ඩලය පවසනවා.
“අස්වැසුම” සුබසාධක ප්රතිලාභ මුදල් ගෙවීම් කඩිනමින් සිදුකිරීමට සැලසුම් කර ඇති හෙයින්, දීමනාවන් බැර කිරීම සඳහා බැංකු ගිණුම් අනිවාර්ය වන බව මණ්ඩලය දැඩි ලෙස අවධාරණය කරනවා.
එබැවින්, මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැති, තේරීපත් වූ ප්‍රතිලාභීන් වහාම බැංකු ගිණුම් විවෘත කරන ලෙස ද අස්වැසුම සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා .
ඒ සඳහා පළමුව තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ගිණුම් විවෘත කිරීමට අදාළ නිල ලිපිය ලබා ගත යුතුයි.
එම ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල ඕනෑම පහසු ශාඛාවක් වෙත ගොස් ගිණුමක් විවෘත කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ගිණුම විවෘත කර ගැනීමෙන් පසුව, එම ගිණුමේ නිවැරදි තොරතුරු නැවතත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරනවා.
මෙම පියවර නිසි පරිදි අනුගමනය කිරීමෙන්, ප්‍රතිලාභීන්ට තම දීමනා ප්‍රමාදයකින් තොරව සහ නිවැරදිව බැංකු ගිණුම වෙත ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවද අස්වැසුම සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
