ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව සෆියා යමික් මහනුවරදී පිළිගෙන – මොහොමඩ් ආසික්
ඉන්දියාවේදී පැවැති 2025 ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු පළන් මහනුවර විහාර මහා දේවි බාලිකා විදුහහලේ ඉගෙනුම ලැබූ සාෆියා යමික් ක්‍රීඩිකාව අද 28 වනදා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දිවයිනට පැමිණියාය.
මීටර් 100, මීටර් 200 සහ සහාය දිවීම යන ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනා ගෙන වාර්තා තුනක්ද පිහිටුවමින් දකුණු ආසියානු කලාපයේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සිය නම සනිටුහන් කර ගැනීමටද සමත්වූවාය.
තමන් උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයට ඇය පැමිණෙන අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබිණ.
මෙම පිළිගැනීමේ උත්සවයට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම පිළිගැනීමේ උත්සවයේදී සෆියා තමන්ට හිමි වු රන් පදක්කම් සිය දෙමාපියන්ට සහ පුහුණුකරුට පැළඳවීමටද පියවර ගත්තාය.
තමන් තම ගම්මානයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එක්ක සහයෝගයෙන් ජීවත් වන බවත් මේ ජයග්‍රහණය සඳහා ඒ සියලු දෙනාගේ දායකත්වය ලැබුණු බවත් සෆියා සඳහන් කළාය. කෙසේ වුවත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඇතැම් පුවත් සම්බන්ධයෙන් කණගාටු වන බවත් ජාතික සමගියට හානි වන එවැනි පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.
