මස්කෙළිය රෝහලට පොලිස් ආරක්ෂාව ඉල්ලයි – හිරුණි ලක්ෂිකා

මස්කෙළිය රෝහලේ කාර්යමණ්ඩලයට හා නේවාසික රෝගීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා රෝහල් සේවකයින් උද්ඝෝෂණයක් සිදුකර තිබෙනවා.

ඒ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන් බීමතින් පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයට පහර දෙන බව පවසමින්.

මේ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය හා නේවාසික රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙවැනි පහරදීම් දිගින් දිගටම සිදුවන බව පවසමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යමණ්ඩලය ඊයේ (25) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයට එක් වුණා.

පහරකෑමකින් තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත පැමිණි බීමත් අයෙක් පසුගිය (23) මස්කෙළිය, ප්‍රාදේශිය රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි රෝහල් සුළු සේවකයෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ සේවකයා රෝහල් ගතකර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

සැකකරු මෝකා තේ වතුයායේ පදිංචි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු පවසන්නේ.

අවස්ථා කිහිපයක්දීම මෙසේ බීමතින් රෝහලට පැමිණි ඇතැම් පුද්ගලයින් රෝහල් සේවකයින්ට පහර දී තිබෙන බවද අප වාර්තාකරු සඳහන් කළා.

සැකකරු මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *