එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් හය දෙනා අමාත්‍ය විජිත හේරත් මැදිහත්වීමෙන් නිදහස් කෙරේ!
එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් හය දෙනා අමාත්‍ය විජිත හේරත් මැදිහත්වීමෙන් නිදහස්කර ගත් අතර මේ මස 24 දා, එම පිරිස කටුනායක ගුවන්තොටුපලට ළඟා වූහ.
Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රදානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන් එම නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 06 දෙනෙක් 2024 නොවැම්බර් මස 07 වන දින සිට එරට බලධාරීන් විසින් රඳවාගනු ලැබූ අතර, ඔවුන් නිදහස් කරගැනීම සඳහා ඉහළ පෙළේ මැදිහත් වීම් කිහිපයක් සිදු කිරීමට සිදු විය.
එම ශ්‍රී ලාංකිකයින් වසරක කාලයක් එරට තුළ රඳවා ගනු ලැබූ අතර මේ සඳහා කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ද සේවය කර තිබෙන මෙම ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඍජුව මැදහත් වී අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබා දුන් අතර නාවිකයින් 06 දෙනා පිළිගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ අප්‍රිකානු කටයුතු අංශයේ නිලධාරීන් එක් වූ අතර පැමිණි හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙති.
