බෙංගාල බොක්කේ අවදානම ඉහළට: සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් – හිරුණි ලක්ෂිකා
දිවයිනට ඊසාන දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් අද (25) පෙරවරුවේ මඩකලපුවේ සිට කිලෝමීටර් 850ක් පමණ දුරින් පිහිටා තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම අඩුපීඩන කලාපය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනයවනු ඇති බවයි.
මෙම පද්ධතිය හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා වනවිට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් අදාළ මුහුදු ප්‍රදේශවලට ගොස් අනතුරු ඇඟවීම් සිදු කළ අතර, එහිදී ඔවුන් ධීවර බෝට්ටු දහසක් පමණ ආරක්ෂිත කලාප වෙත යොමු කළා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සහ අද උදෑසනත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලුණා.
පවතින අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංඟා ආශ්‍රිතව ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව කළු, කැළණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඊයේ රාත්‍රියේ සිටම හොරණ ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව සමග ප්‍රදේශයේ පහත්බිම් සහ කුඹුරු රැසක් ජලයෙන් යට වී තිබුණා.
මේ අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වනවිට විවෘත කර ඇති අතර, වසා දමා තිබූ අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක්ද යළි විවෘත කර තිබෙනවා.
තවත් ජලාශ කිහිපයකම වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.
මහ වැසිත් සමග රතඹලාඔය පිටාර ගැලීමෙන් මහමාඑළිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 300ක් පමණ දින පහක් තිස්සේ ජලයෙන් යට වී පවතිනවා.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 11කට අදියර 1 සහ 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
අධි බලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවක් ද මාර්ගය දෙසට බරව ඇති ආකාරයද දක්නට ලැබුණා.
එමෙන්ම කොබෙයිගනේ මාකෙලියාව සහ තෙලහැර ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 12කට පමණ හානි සිදුව තිබෙනවා.
තවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනය තුළත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි
