දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්!

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වසර ගණනකට පසු ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

ඒ, 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය.  ඉන්දියාවේ රංචිහිදී මෙම ශූරතාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

යෝධසිංහ තරගය අවසන් කළේ, තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

යෝධසිංහ, 103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ද ජය ගත්තේ ය.  ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සෆියා යාමික් 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය මීටර 100 ධාවන ඉසව්වේදී තත්පර 11.53ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

එය නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය.

ඒ අනුව දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනා ම ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇය තරගය අවසන් කළේ, තත්පර 11.72ක කාලයකිනි.

සෆියා සහ අමාශා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ය.

සෆියා පසුගිය දා නිමා වූ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවා ය.

එම ශූරතාවලියේදී මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ඇය අවසන් කළේ, තත්පර 11.51ක කාලයකිනි.

අමාෂා ද සිල්වා මෙවර 103 වන වරට පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගත්හ.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පසිඳු මල්ෂාන් ය.

ඔහු මීටර 16.19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ ය.

මදුශානි හේරත් එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

ඇගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 13.26 ක් ලෙස ය.

මීට අමතරව මීටර 5000 පිරිමි සහ කාන්තා, යගුලිය පිරිමි සහ කාන්තා, මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්ව යන ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනා ගත්හ.

Copied: https://www.bbc.com/sinhala/articles/cn97jvd4ejxo

END/BBC/MMP/25102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *