සුන්දර ජීලෝන් සංචාරක බංගලාවට අලුත් එළියක් – නිශිකා හංසනී
මොණරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මොණරාගල ජීලෝන් කඳුවැටියේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක බංගලාව වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ්, මොණරාගල ප්‍රාදේශීය සභාව විසින්.
නගරයේ සිට සැතපුම් හයක් පමණ දුෂ්කර මාර්ගයකින් ගියපසු මෙම ජීලෝන් කඳු වැටියේ පිහිටි සංචාරක බංගලාව හමුවෙනවා.
මෙම බංගලාවේ කාමර අලුත්වැඩියා කිරීම, අබලන් ස්ථාන පිළිසකර කිරීම, පිහිනුම් තටාකය නවීකරණය කිරීම මෙම වැඩපිළිවෙලින් සිදුවන බව මොණරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු පවසනවා.
ඒ සඳහා ඌව පළාත් සංචාරක අමාත්‍යංශය අනුග්‍රහය යටතේ රුපියල් තිස්හත් ලක්ෂ පනස් තුන්දහසක් පමණ වැයකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවා.
මුහුදු මට්ටමේ සිට මීටර් 1100 පමණ උසින් පිහිටි මෙම බංගලාව 1907 දී පමණ ඉදිකර ඇති අතර කලක් වතු අධිකාරීවරුන්ගේ නවාතැන්පොළක් බවට පත්ව තිබූ බව සඳහන්.
කඳුගැට රැසකින් සමන්විත මරගල කඳු වැටියේ උසම ස්ථානය ජීලෝන් නමින් හැඳින්වෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කය තුළ අන්තර් මාධ්‍ය සහ වියළි දේශගුණික තත්වයක් පැවතියත් ජීලෝන් කඳුවැටිය තෙත් කලාපීය දේශගුණ තත්වයක් පවතිනවා.
දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1500-2000 අතර වුවත් කඳු වැටියේ එය මිලිමීටර් 2500 පමණ වෙනවා.
ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර පසුගිය අප්‍රේල් මාසයේ මෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර ඔහුගේ උපදෙස් මත මෙම බංගලාව නවීකරණය කිරීම සිදුකෙරෙන බැව් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
