2026 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක් – හිරුණි ලක්ෂිකා
2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අගමැතිනිය මේ පිළිබඳව පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.
ඇය තවදුරටත් පැවසුවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන්ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බවයි.
එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවයි ඇය පවසා සිටියේ.
අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළේ පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් ය. මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවයි.
මෙම පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංග ලේකම නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් රැස්ව සිටියා.
