ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්!

ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) නෙලුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය පවත්වනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහිත අභ්‍යාසලාභීන් සහ අනෙකුත් කෙටිකාලීන පාඨමාලාවල අභ්‍යාසලාභීන් 813 දෙනෙක් සඳහා මෙහිදී සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.‍

මෙහි දී ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (NVQ LEVEL) 4, 5, 6 යන සුදුසුකම පිරිනැමීම සිදු කෙරුණි. ඒ අනුව උසස් පුහුණුකරු පාඨමාලාව (NVQ 6), ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5), ක්‍රීඩා පුහුණුකරු ඩිප්ලෝමා පාඨමාලාව (සති අන්ත), ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, ශාරීරික යෝග්‍යතා උපදේශක පාඨමාලාව (NVQ 4) හා ක්‍රීඩා අභ්‍යාසක සහතික පත්‍ර පාඨමාලාව (NVQ 4) ලබා දුන්හ.

මෙහි දී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක පැවසුවේ අද ලබාගන්නා සහතිකය වෘත්තිය නිපුණතාවයකින් එහාට ගොස් ජනතාව අතර ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වගකීමක් පැවරෙන බවයි. මෙම සහතිකය වෘත්තීය ක්ෂේත්‍රය තුළ ඉදිරියට යෑම වෙනුවෙන් පමණක් ඇති සුදුසුකමක් නොවන බවත්, ඒ සමඟ පැවරෙන සමාජීය වගකීමක් ද ඇති බවත් හෙතෙම පැවසීය.

මෙරට තරුණ ප්‍රජාව බෝනොවන රෝගවලින් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද ක්‍රීඩාව තුළින් දායකත්වය සපයන බැවින්, ඒ වෙනුවෙන් ද ක්‍රියා කළ යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් වූහ.

END/GONP/MMP/22102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed