කබලෙන් ළිපට වැටෙන හැම්මැලිය වත්තේ මලෛගම් ජනතාව – ඉරෝෂිණි දීපිකා

“අපට වත්තෙන් යන්න කියලා ජූලි මාසෙදි වත්ත අයිති නෝනා දැනුම් දුන්නා. දැන් මාස තුන ඉවර වෙන්නත් ළඟයි. අවුරුදු අසූ ගණනක් මේ වත්ත වෙනුවෙන් වැඩ කරපු අපි, මේ වත්තෙන් ගිහින් කොහොම ජීවත් වෙන්න ද? කොහේ යන්නද? මගෙ දරු පවුල් මොනවා කරන්නද?” හිස ගිනියම් කරමින් ඇවිල යන මේ බැරෑරුම් ප්‍රශ්නය නිසා, දැනට අසූ හැවිරිදි වියේ පසුවන ගෝපාල් සන්දනම්ට හරිහැටි නින් යන්නේද නැත; කෑමක් බීමක් ඇඟට අල්ලන්නේ ද නැත; ඇඟපතට ද ශක්තියක් නැත.

ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හැම්මැලිය වත්තේ වසර අසූවකට වඩා වැඩි කාලයක සිට ජීවත් වන මලෛයගම් දෙමළ ජනතාව, ඉඩම විකිණීමට අවශ්‍ය බව පවසා, එම වත්තෙන් නෙරපීමට මේ වන විට ඉඩම් හිමියන් උත්සාහ ගනිමින් සිටී. දැනට මේ ඉඩමේ පදිංචිව සිටින පැරැණිතම පුද්ගලයා ලෙස එය සන්දනම්ට දැනෙන්නේ හිස මත කඩා වැටුණු මහමෙරක් ලෙසිනි.

   ගෝපාල් සන්දනම්

“මගේ තාත්තා කේරළ සම්භවයක් තියෙන ක්‍රිෂ්ණපුල්ලේ ගෝපාල්. එයා මීට වසර සියයකට ආසන්න කාලයේදී ඉන්දියාවෙන් ලංකාවට ගෙන්නුව කම්කරුවන් එක්ක ඇවිත් තියෙනවා. ඒ කාලෙ හැම්මැලියවත්ත කියන මේ ඉඩම, වල්පිට වතු යායේ උප කොටසක්. මේ වත්ත එදා රජයට අයිතිවෙලා තිබුණේ. ඒ කාලෙ මේ ඉඩමේ රබර්, තේ වවලා තිබුණෙ. එයා මේ රබර් වත්තේ කංකානම් කෙනෙක් විදියට අවුරුදු විසි දෙකක් විතර සේවය කරලා. අම්මගෙ නම නාගොරු. එයා මේ වත්තට අල්ලපු වත්තෙ තේ දලු කඩපු කාන්තාවක්. තාත්තා එක්ක මේ වත්තට ආවට පස්සේ එයා මේ වත්තේ තේ දලු නෙළලා තියෙනවා. මං ඉපදුණේ 1945 ඔක්තෝබර දහවැනිදා. මේ ලයින් කාමරවල දැනට ජීවතුන් අතර සිටින මුල්ම පදිංචිකාරයා මං. මාත් පුංචිම කාලෙ ඉඳන් වත්තේ කම්කරු වැඩ කළා. මං විතරක් නොවෙයි, මගේ පවුලේ හැමෝම මේ වත්තේ වැඩ කළේ. මේ ඉඩම පසුකාලීනව පෞද්ගලික ඉඩමක් බවට පත් වුණා. ඒ 1950 වසරෙදි”.

“ඒ කාලෙ මේ වත්තේ බිම් ප්‍රමාණය අක්කර හැත්තෑහත හමාරක්. දැන් නම් තියෙන්නේ අක්කර හයයි. කාලෙන් කාලෙට ඉඩම් විකුණපු නිසා ඉතිරි වුණේ එච්චරයි. මං පාසල් ගියේ නෑ. මගෙ පවුලේ අයියා කෙනෙක් සහ අක්කලා හිටියෙ. අපේ පවුලෙ දරුවො පහයි. මේ වත්තේ හිටිය පළමු සහ දෙවැනි පරම්පරා විවාහය ලියාපදිංචි කරලා නෑ. අපේ පවුලෙ හැමෝම මේ වත්තට වැඩ කළේ. ඒ කාලෙ ඉරිදට විතරයි නිවාඩු තිබුණෙ. දවසක පඩිය රු.1.55යි. අපට කවදාකවත් වැටුප්පතක් ලැබිලා නෑ. සේවක අර්ථසාධක අරමුදල හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හෝ ලැබිලා නෑ. ඒ කාලෙ වැඩ කළාට අපේ අතට සල්ලි හම්බ වුණේ නෑ. මහත්තයා අපි හැමෝගෙම පඩිය සඳහන් කරලා, පල්ලෙහා පාර අයිනෙ තිබුණු කඩේට තුණ්ඩු කෑල්ලක් දුන්නා. අපට අවශ්‍ය බඩු ගත්තේ ඒ තුණ්ඩුවේ සඳහන් කරලා තිබෙන මුදලට. කීයක් හරි අවශ්‍ය වුණොත්, මහත්තයගෙන් සල්ලි ඉල්ලා ගත්තා. අප මේ වත්තේ වැඩ කරලා වැටුප් ලබා ගත්තා කියලා කියන්න අප ළඟ කිසිම ලියවිල්ලක් නෑ”.

පුංචි සන්ධියේ දී, හිරුටත් කලින් අවදි වූ ගෝපාල් සන්දනම්, තේ පඳුරු අස්සේ ඇවිද ගියේ අම්මා සමඟ දලු කැඩීමටය; නැත් නම්, වත්ත සුද්ධ කිරීමට ය. කඳු මුදුනක පිහිටි හැම්මැලිය වත්තේ, උඩහටම වන්න ඔවුන්ගේ ලයිම් පේළිය පිහිටා තිබුණි. පාරේ සිට වත්තට යෑමට හරිහමන් පාරක් තිබුණේ ද නැත. අදටත් එය එසේමය. උදෑසනින්ම තේ කහට කෝප්පයක් කට ගා ගත් සන්දනම්, ගල් මුල්වල පා පැටළෙමින්, දහදිය වගුරමින් වත්තේ වැඩ කළේ ය. එවිට ඔහුගේ වයස අවුරුදු දහ තුනක් පමණ විය. රබර් වත්තේ කංකානම් වූ ක්‍රිෂ්ණපුල්ලේ ගෝපාල් වන තම පියාත්, වත්තේම දලු නෙළූ මවත් සමඟ මේ පුංචි කොලු ගැටයා පවුලේ ආර්ථිකයට දායක වූවේ එසේය.

1980 දසකය වන විට මේ වත්තේ ලයිම් පේළි දෙකක් විය. ඒ ලයිම් පේළිවලට කාමර දහයකි. ජීවත් වූ පවුල් සංඛ්‍යාව 20කි. සමහර ලයිම් කාමරවල පවුල් දෙක බැගින් ජීවත් විය. මේ ඉඩමේ පැවති වැවිලි දෙක වූ රබර් සහ තේ වතුවල සේවය සඳහා මේ මලෛගම් පවුල්වල ජනතාව කටයුතු කළහ. මුල් කාලයේ වත්තේ වැඩ කර වැගිරූ ශ්‍රමය වෙනුවෙන්, තුණ්ඩු කැබැල්ලකට අනුව කඩෙන් බඩු මිලදී ගත්හ. ඒත් 2007 වසරේදී පමණ හැම්මැලිය වත්තේ කුරුඳු නෙළීම, කුරුඳු සිටුවීම, කුරුඳු ගස් ගැටගැසීම, පොහොර ගැසීම ආදී වැඩකටයුතු සඳහා එහි සේවය කළ අයට රුපියල් 500ක මුදලක් ලබා දී තිබුණි. 2023 වන විට රු.1500ක මුදලක් ලබා දී ඇත. එහෙත් මේ වන විට එහි ඉඩම් විකුණා ඇති නිසා, මේ පිරිසට වෙනත් වෘත්තීන් සොයා ගැනීමට සිදුව තිබේ.

“මේ ඉඩම මුලින්ම කොටස් කර විකුණන්න පටන් ගත්තේ 1986 ජුනි මාසෙදි. මුලින්ම අක්කර පහක් වගේ ප්‍රමාණයක් විකුණුවෙ. මේ වත්තෙ ඉඳලා මිය ගිය අය භූමදානය කරන්න මේ වත්තෙම කුඩා කොටසක සුසාන භූමියකට වෙන් කරලා තිබුණා. මේ වත්තේ ඉඳලා මිය ගිය දහදෙනෙක් පමණ ඒකෙ භූමදානය කරලා තියෙනවා. ඒ භූමියත් මේ වෙද්දි විකුණලා තියෙන්නේ. අපේ පවුල් නවයේ සාමාජිකයන් කිහිප දෙනෙක් 2023 වසර වෙනකන්ම වත්තේ වැඩ කළා. ඒ අවුරුද්ද වෙද්දි වැඩට ගියේ දවස් දෙකක් විතරයි. දැන් ඉතිං අපට මේ වත්තේ වැඩ නෑ. මහත්තයලා ඉන්න කාලෙ පඩි මදි නිසා වෙනින් කුලී වැඩකට ගියත් අපට බණිනවා. ඒ නිසා අපි වත්තේ වැඩ විතරමයි කළේ. වත්තෙන් දොට්ට දැම්මොත් අපට යනඑනමං නැති වෙයි.”

අද වන විට මේ වත්තේ ඉතිරිව ඇත්තේ පවුල් නවයක් පමණි. සාමාජිකයන් විසි පහක් පමණ ඒ පවුල්වලට අයත්ය. ලයින් කාමර පේළි දෙකනේ එක් ලයින් පේළියක එක් නිවෙසක් පමණක් තිබේ. අනෙක් ලයින් පේළියේ ඇති කාමර සංඛ්‍යාව හයකි. පවුල් දෙකක් ලයින් කාමර ආසන්නයේම මැටි ගෙවල් තනාගෙන ජීවත් වේ. අද වන විට මේ ලයින් කාමර ජීවත් වීමට නුසුදුසු තත්ත්වයක පවතී. බිත්ති පුපුරා ගරා වැටෙමින් ඇත. ලයිමේ ඇති කටුමැටියෙන් බැඳුණු බිත්තියක් සහිත ඇතැම් කාමරයක, කුඩා දරුවන් සෙල්ලම් කරයි. තවත් තැනෙක දැරියක් පාසල් වැඩ කරමින් සිටී. මේ පවුල් නවයටම පාවිච්චි කිරීම සඳහා ඇත්තේ වැසිකිලි දෙකක් පමණකි. පීල්ලෙන් වෑස්සෙන සීතල දියෙන් ජල අවශ්‍යතා සපුරා ගනී.

“පුංචි කාලෙ අපි හරියට දුක් වින්දා. අපට පාසල් යන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ. වත්තේ නෝනා ගුරුවරියක්. පස්සේ විදුහල්පතිනියක් වුණා. ‘ඉගෙන ගන්නේ මොකට ද? කැවුම් තම්බන්න ද? වත්තෙ වැඩ කරන්න. හවසට ගුරුවරියක් ගෙදරට ගෙන්නලා උගන්වන්නම්.” කියලා අපි පුංචි කාලෙ අපට කියනවා. ඒත් කවදාකවත් අපටඋගන්වන්න ගුරුවරියක් නම් ආවෙ නෑ. අපේ තාත්තා ඒ අයට බයයි. පොඩ්ඩ වරදින්න බෑ. සැර වැර වෙනවා. මහත්තයා නම් තාත්තට තඩිබානවා අප දැකලා තියෙනවා. ඒ නිසා තාත්තා ඒ අයගෙන් මොනවත් අහන්න ගියේ නෑ.  කියන දේ කරගෙන හිටියා. වත්තෙ අය ඡන්දය දැම්මෙත් මහත්තයා කියන පක්ෂයට. මහත්තයලා අපට කතා කරන්නේ ‘වරෙං, පලයං’ වගේ භාෂාවෙන්.

  සන්දනම් වල්ලිඅම්මා

පස්සෙ කාලෙකදි, අපට මේ අය ඉගෙන ගන්න දුන්නෙ නැති එකේ රහස මට තේරුණා. දවසක් වත්තෙ මහත්තයා, එයාලගෙ නෑදෑ ගෙදරක වැඩට මා යවන ලෙස තාත්තට දැන්වූවා. ඒ වෙද්දි මට වයස අවුරුදු එකොළහක් වගේ ඇති. ඒ ගෙදරට ගිහින් දැම්මදා ඉඳන් පහුවදා උදේ වෙනකන් කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නැතිව මං අඬ අඬා හිටියා. පහුවදාම උදේ මං එක එක අයගෙන් පාර අහගෙන ගෙදරට ආවා. ඒක දැනගත්ත මහත්තයා, මිදුලෙ තිබුණු රෝස පඳුරකින් ඉත්තක් කඩාගෙන ඇවිත්, තාත්තා ඉස්සරහම මට හොඳටම ගැහුවා. මගෙ ඇඟ හොඳටම හීරුණා. ඒ සිද්ධිය මතක් වෙද්දි තාමත් මගේ ඇස්වලට කඳුළු උනනවා.” මේ වත්තේ ජීවත් වන තුන් වැනි පරම්පරාව නියෝජනය කරන සන්දනම් වල්ලිඅම්මා (අවු.58), නෙතු අගින් රූරා වැටෙන කඳුළු පිස දමමින් සිය අතීත දුක්බර සිදුවීම සිහිපත් කළාය.

මේ ලෝකයේ ජීවත් වන සෑම මානවයකුටම හිමිකම් ඇත. ඒත්, ඇතිහැකි අය හමුවේ නැතිබැරිවුන්, අතීතයේ මෙන්ම වර්තමානයේද පීඩාවට පත්වේ. වල්ලිඅම්මලාගේ පරම්පරාවේ උදවිය පවසන ආකාරයට, මොවුන් ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය, අධ්‍යාපන අයිතිය අහඅමි කිරීම,වැඩිහිටියන්ට පීඩා කිරීම, රැකියාවක් කිරීමට ඇති අයිතිය, නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය, ශ්‍රම සූරාකෑම ඈ නෙක් අයිතිවාසිකම්වලට මුහුණ දී ඇත. සියලු බාධක, කම්කටොළු හමුවේ නොසැළී ඉවසා දරා ජීවත් වූ මේ මිනිසුන්ට, අද වන විට ඇඳි වත පමණක් ඇතිව, ඉඩමෙන් නෙරපීමට තැත් කිරීම මොන තරම් ඛේදනීය තත්ත්වයක් ද?

වල්ලිඅම්මා පවසන පරිදි, විදෙස්ගතව සිට මීට මාස තුනකට පමණ පෙර ඉඩමට පැමිණි ඉඩම් හිමිකාරිණිය පවසා ඇත්තේ, තමන්ට මේ ඉඩම විකිණීමට අවශ්‍ය නිසා මාස තුනක් ඇතුළත ඉඩමෙන් යන ලෙසටය. හබරාදූව ප්‍රදේශයේ තමන් දන්නා ඉඩමක් ඇති බවත්, එම වත්තේ පදිංචියට යන ලෙසත් ඇය දන්වා ඇත. පාසල් යන දරුවන් හබරාදූව ප්‍රදේශයේ පාසල්වලට යවන ලෙසත්, අනෙක් අයට ඒ ප්‍රදේශයේ රැකියා සොයා ගන්නා ලෙසත් ඇය පවසා තිබේ. එම වත්තට පිටත් වූ පසු මෙහි ජීවත් වන පවුල් නවය සඳහා ලක්ෂ දෙක බැගින් ගිණුම්වලට බැර කරන බවත්, හබරාදූව ඉඩමට යෑමට නොහැකි නම්, වෙනත්  ප්‍රදේශයකින් ඉඩමක් ගෙන නිවෙසක් සාදා ගැනීම සඳහා, තම ඉඩමෙන් ගිය පසු ලක්ෂ දෙක ගිණුම්වලට බැර කළ හැකි බවත් ඇය පවසා ඇත.

“ගියාට පස්සේ සල්ලි ගිණුමට බැර කරනවා කියලා අපි විශ්වාස කරන්නෙ කොහොමද? ලක්ෂ දෙකකින් ඉඩමක් අරන් ගෙයක් හදන්නෙ කොහොමද?” ඇය පවසන්නීය.

           සන්දනම් පුෂ්පරාණි

“අපට හැඳුනුම්පත්, ඡන්ද අයිතිය තියෙනවා. දරුවො පාසල්, පන්සලේ දහම් පාසල් යනවා. අපට මාස තුනක් ඇතුළත වත්තෙන් යන්න කිවුවා. ඒ කිවුවෙ ජූලි මාසයේදි. ගමේ අය කියන කතා අහලා නීති මාර්ගවලට යන්නත් එපා කිවුවා. අපි කොහොමද ලක්ෂ දෙකකින් ඉඩමක් අරන් ගෙයක් හදා ගන්නේ? ඒක ලැබෙන්නෙත් අපි ඉඩමෙන් ගියාට පස්සෙනෙ. ඒ නිසා අපේ පවුල්  නවයට, ජීවත් වන ස්ථානයේම හෝ මේ වත්තේම වෙනත් ස්ථානයක නිවාස ඉදි කර ගත හැකි ප්‍රදේශයක හෝ එක පවුලකට අවම වශයෙන් පර්චස් 15ක බිම් කොටසක්, නීත්‍යානුකූල ඔප්පුවක් සහිතව ලබාදීලා, නිවසක් ඉදිකර, අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් උදා කර දෙන්න කියන එකයි අපේ ඉල්ලීම.” වල්ලිඅම්මා පවසන්නීය.

එස්.පුෂ්පරාණි (50) පවසන පරිදි, දැනට වත්තේ හිමිකාරිණිය කුඩා කාලයේදී පාසල් ගොස් නිවෙසට පැමිණි පසු, ඇය සමඟ ඔවුන් පුංචි හවසට සෙල්ලම් කිරීමට පවා ගොස්  ඇත.  “මහත්තයලගෙ ගෙදර උත්සව, පිංකම් තියෙද්දි අපි තමයි ගිහින් ගෙදර වැඩ සියල්ලම කරන්නේ. උයලා පිහලා, වළං හෝදලා, ගෙවල් අස් කරලා පවා එනවා. අපට පාසල් යන්න අවස්ථාව නැති වුණාට අපි අපේ ළමයින්ට ඉගැන්නුවා. මං පුංචි කාලෙ ඉඳන් මේ වත්තේ වැඩ කළා. දැන් මෙහෙ වැඩ නැති නිසා ගාමන්ට් එකකට යනවා. අපි ඉල්ලන්නේ අපට මේ ඉඩමේ නිවෙසක් හදාගෙන ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න කියන එකයි.”

         සන්දනම් පුෂ්පකාන්ති

වත්තේ රැකියාව කර, දරුවන්ට උගන්වා උස් මහත් කිරීමට අමතරව, තමන්ට නොලැබුණු අධ්‍යාපන අයිතිය තම දරුවන්ට ලබා දීමට වල්ලි අම්මලාගේ පරපුර උත්සුක විය. එහි ප්‍රතිඵල මේ වන විට ඔවුහු භුක්ති විඳිති. එස්. පුෂ්පකාන්ති නමැති තිස් එක් හැවිරිදි තරුණිය, මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.

“අපේ පරම්පරාව මේ වත්තට දහඩිය, මහන්සිය කැප කරලා සේවය කළා. ඒ නිසා අපට මේ ඉඩමෙන් යන්න කිවුවට අපි යන්නේ කොහෙද? අපේ සීයලා යන්නෙ කොහොමද? මලෛගම් ජනතාවට සාධාරණය ඉෂ්ට විය යුතුයි.” පුෂ්පකාන්ති පවසන්නීය.

මේ අය සඳහා, මේ වන විට ‘වතුකරයේ ජනතා හඬ සංවිධානය’ සහය දැක්වීමට ඉදිරිපත් වී සිටී. ඒ අනුව එහි විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන්, මේ වන විට මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා,ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, දකුණු පළාත් ආණ්ඩුකාරතුමා දැනුම්වත් කර ඇත. පසුගියදා, මේ සංවිධානය මඟින්, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ජීවත් වන මලෛයගම් ජනතාවගේ ඉඩම්, නිවාස, අධ්‍යාපන සහ මූලික යටිතල පහසුකම් පිළිබඳ වතු හා     යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා සමඟ පවති සාකච්ඡාවේදී, හැම්මැලියවත්තේ පවුල් නවය වත්තෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුව සහ ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ සෘජුවම දැනුම් දී තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධරයකු සහ නීතිඥවරුන් කිහිප දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වත්තේ සිටින  ජනතාවට නීතිමය උපදෙස් ලබා දීමට ද මේ වන විට ඉදිරිපත්ව සිටී.
මේ පිළිබඳ විමසීම සඳහා දැනට අමෙරිකාවේ ජීවත් වන ඉඩම් හිමිකාරිණිය හෝ ඇයගේ සමීපතම ඥාතිවරයකු හෝ සම්බන්ධ කර ගැනීම අපහසු වූ අතර, මේ පවුල් සඳහා සාධාරණය ඉටු විය යුතු බව විහාරවාසී හිමිවරු පවසති.

අංක 188, හැම්මෑලිය ග්‍රාම නිලධාරිනී පී.එල්.එම්.ප්‍රියංගනී පවසන පරිදි, මේ අය ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති අතර, නිවාස ගරා වැටුණ ද, ඉඩම්වල හිමිකම නැති නිසා රජයේ ආධාරයක් ලබා දීමට නොහැකි බව පවසයි.

මෙරට සිටින මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දෙමින් පසුගියදා ජනාධිපතිතුමා, වසර දෙසිය දෙකක් පමණ පැරැණි මේ ජනතාව පිළිබඳ රටේම අවධානය යොමු කළේය. අවම වශයෙන් පුරවැසියකුට නිවහනක්, ජීවත් වීමට ආදායම් මාර්ගයක්, හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක්, දරුවන්ට අධ්‍යාපනය, මානසික සුවය යන පහසුකම් ලබා දීම රාජ්‍යයක වගකීමක් බව ද පෙන්වා දුන්නේ ය. හැම්මැලියවත්තේ මලෛගම් ජනතාවගේ ගැටලුව දෙස අවධානය යොමු කර, ඔවුන්ට ඒ අවම පහසුකම් ලබා දීම කෙරේ රජයේ අවධානය යොමු වීම වෙසෙසින්ම වැදගත්ය.

              © චාරිකා සටහන සහ ඡායාරූප  –  ඉරෝෂිණි දීපිකා

     END/MMP/21102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed