ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සිදුකළ පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර ඊයේ  (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හමුවිය.

ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය, සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

වෙළඳාම, මූල්‍ය සහයෝගීතාව සහ අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක සිදු කරන සංවර්ධන වැඩසටහන් සඳහා ඉන්දීය රජය මඟින් ලබා දෙන අඛණ්ඩ සහාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැසසුමට ලක් කළා ය.

අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලාපයේ සමීප අසල්වැසියෙකු සහ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව අග්‍රාමිත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ  ඩිජිටල්කරණය, තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය සහ පර්යේෂණ සේවා ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවද ප්‍රකාශ කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/17102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed