කළුතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් 04 ක් සඳහා ඉදිකළ නව නිවාස ප්‍රතිලාභීන් වෙත බාරදෙයි
රජයේ භාණ්ඩාගාරයේ මුදල් පැවැති රජයන් මෙන් සැරසිළි සහ මාධ්‍ය සංදර්ශණ වලට නොයොදවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා යොදවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යවරයා පවසයි.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 04 ක් සදහා රජයේ ආධාර මත ඉදිකළ නිවාස නිල වශයෙන් භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
ඒ අනුව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දොඩංගොඩ, හල්කදවිල, පයාගල සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අබේපිටිය යන ග්‍රාම නිලධාරි වසම් වල අඩු ආදායම්ලාභින් වෙත අමාත්‍යවරයා අතින් නව නිවාස වල යතුරු භාර දීම මෙහිදී සිදු විය.
මෙම එක් නිවසක් ඉදිකිරීම සදහා රජය මගින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ආධාර වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇත.
මෙම වැඩපිළිවල තුළ රාජ්‍ය නිලධාරීන්ගේ පුර්ණ අධීක්ෂණයෙන් රටේ ජනතාවගේ බදු මුදල් ලැබිය යුතූ ජනතාව වෙතම ලැබී ඇති බවත්, එම ප්‍රතිලාභී අඩුආදායම් ලබන ජනතාවගේ ජීවිත තවත් ඉහළට ඔසවා තැබීමට හැකිවෙනවා මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය රටේ ආර්ථිකයට එක්කර ගැනීමට විශේෂ ව්‍යාපෘති ගණනාවක් රජය ක්‍රියාවට නංවා ඇති බව ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ වැඩපිළිවල සියලු ජන කොටස් සම්බන්ධ කරගෙන රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
මීට කලින් රජයන් භාණ්ඩාගාරයේ විශාල මුදලක් සැරසිලි වලට වැය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ බවත්, එම නිසා එම ව්‍යාපෘති ශක්තිමත්භාවයකින් තොර වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා වත්මන් රජය ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති වලට සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ මුදල් යොදවන බවද වැඩිදුරටත් පැවසීය.
කළුතර දිස්ත්‍රික්කය තුළ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති තෝරාගත් දිළිඳු පවුල් 155ක් සදහා මුල් වටයේ දී රුපියල් මිලියන 155ක මුදලක් මේවන විට රජය විසින් බෙදා දී ඇත. එම ව්‍යාපෘතිය යටතේ මුල් අදියරේ ඉදිකළ නිවාස 04 ක් මෙසේ භාරදීමට පියවර ගැනුණි.
2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව තවත් නිවාස 40 ක් කළුතර දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම සඳහා ප්‍රතිලාභීන් 40 දෙනෙකුට රුපියල් මිලියන 40 ක් ලබා දීමට ද රජය පියවර ගත් අතර ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය තුළ නිවාස 195 ක් මෙම වැඩසටහන යටතේ ඉදිවෙමින් හෝ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
ඉහත ආධාර වැඩසටහනට අමතරව “සේවා අභිමානී ණය වැඩසටහන” යටතේ නිවාස නොමැති රාජ්‍ය සේවකයන්ට නිවාස ඉදිකිරීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ප්‍රතිලාභීන් 43 ක් සඳහා ලක්ෂ 645 ක් නිකුත් කර ඇත.
ආබාධිත සහ අසරණ පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමට “සෙවන ආධාර වැඩසටහන” යටතේ කඩිනම් වැඩපිළිවෙළක් ද රජය මේ වන විට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවන්ට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වන චන්දිම හෙට්ටිආරච්චි, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලුෂ කවිරත්න, උප සභාපති ජනක විතාන, දොඩංගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ශෂිකලා සිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් නිලධාරීන්, බේරුවල ප්‍රාදේශීය ලේකම් ජනක පෙරේරා, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස නිලධාරී එරන්ද කුමාර යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ගම්වාසීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
