පොහොර කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත භූමිය නිරීක්ෂණයට කර්මාන්ත අමාත්‍යවරයා එක්වෙයි

සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත.අභිලාෂ කැඳවීම මෙම මස 16 – අද දින පස්වරු දෙකෙන් අවසන් වේ. මේ වනවිට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී ඇත.

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය ඊයේ – 15, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිරීක්ෂණය කළ අතර එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට ද එක්විය.

මෙම අවස්ථාවට එක් වෙමින් අමාතාවරයා පැවසුවේ, මෙම කර්මාන්තශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිත බවත්, දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට්(TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම සිංගල් සුපර් පොස්පේට් වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බවත් ය.

මෙහි දෙවන අදියරයේදී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද ඉදිකිරීමට යෝජිත බවද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් එක්වී සිටියහ.

END/GONP/MMP/16102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed