ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ කලාපීය 78 වන සැසිවාරයේ තාක්ෂණික සැසිවාරය ඇරඹේ!
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ කලාපීය 78 වන සැසිවාරය ඊයේ (13) පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව පස්වරුවේ තාක්ෂණික සැසිවාරය පැවති අතර එහි දී කලාපීය සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධව හා ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ අවධානය යොමු කරන ලදී .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිය පැවති අතර මෙහි දී කලාපයේ එක් එක් රටවල් සිය තාක්ෂණික සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධව හා ජයග්‍රහණ සම්බන්ධව අදහස් දක්වන ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ විසින් ඉදිරිපත් කරන ලද කලාපයේ සෞඛ්‍ය අභියෝග ජයගැනීම, ඉලක්ක සපුරා ගැනීමට අදාල 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කළ අතර පසුගිය වසර තුළ දකුණු ආසියානු කලාපය තුළ මතු වූ විවිධ සෞඛ්‍ය ගැටළු සහ ඒවාට සාර්ථකව මුහුණ දුන් ආකාරය එම වාර්තාවේ සඳහන් විය.
එමෙන්ම විවිධ රටවල් සාර්ව සෞඛ්‍ය සැපයුම (Universal Health Coverage) ඉලක්ක ජයග්‍රහණ විවිධ මට්ටම් වලින් අත්කරගෙන ඇති අයුරු ද පැහැදිලි කරන ලදි.
විශේෂයෙන් බෝ නොවන රෝග පාලනය සහ වැලැක්වීම සඳහා ශ්‍රි ලංකාව ගෙන ඇති විවිධ වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය එහි දී විශේෂ ඇගයීමට ද ලක්විය.
මෙම සැසිවාරයේ දී කලාපයේ සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක ජයගැනීම වෙනුවෙන් කැපවෙන බව දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ප්‍රකාශ කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඉටු කරන සේවා සහ ඉදිරි සැලසුම් රැසක් පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා මෙහි දී කරුණු දැක්වු අතර මෙරට ජනතාවගේ සෞඛ්‍ය සේවා ඉහළ නැන්වීමට හා කලාපීය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඉටු කරන කැපවීම ඒ මහතාගේ පැසසුමට ද ලක්විය.
එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බෝ නොවන රෝග පාලනය, මානසික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය සඳහා ලබාදෙන සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ ප්‍රශංසාවට ද ලක් විය.
