2016 වසරේ පැමිණිල්ලට තීන්දුව අද! පොලිස් නිළධාරීන් 06ක් වරදකරුවන්!

පුද්ගලික බස්රථ ක්‍රියාකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන දණ ගස්සා හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන එල්ල කර පහරදී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලීසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරීන් විසින් සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් අධිකරණය කළ නියෝග කර ඇත.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි විතානගේ සුනිල් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අදාළ, මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමේ චෝදනාවට වැරදිකරු කළ කොට්ටාව පොලීසියේ එවක ස්ථානාධිපති එල්.පී.බී.සමරසිංහ, පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන නන්දන පියල්, සම්පත්, චන්ද්‍රා නිරෝෂන්, උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි යන නිලධාරීන් එකව සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් වුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා පුද්ගලික බස් රථ හිමිකරුවෙකු බවත් සිය බස්රථ දෙකක් කොට්ටාව සහ කොළඹ මාර්ගයේ ධාවනය වන බවය.

2016 වසරේ ජූලි මස 09 වනදා රාත්‍රි 10.00ට පමණ සිට මිතුරෙකු හමුවී නිවසට පෑමිණෙමින් සිටියදී වග උත්තර කාර පොලිස් පරීක්ෂක සිරිල් පෙරේරා නමැත්තා පැමිණ තමන්ට බැනවැදී සිය හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවත් ඉන්පසුව කොස්තාපල් සම්පත් සහ නිරෝෂන් යන නිලධාරීන් තමන්ට පහර දී දණ ගසන ලෙස අණ කළ බවත් පෙත්සම්කරු පවසයි.

ඉන් පසුව එම නිලධාරීන් අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවත් ඔහු චෝදනා කළේය.

ඉන් අනතුරුව වග උත්තරකරුවන් විසින් තමන්ව කොට්ටාව පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිර මැදිරිය තුළ රැඳවූ අතර තමන්ව නිදහස් කරන ලෙස සිය මව, බිරිඳ සහ ඇයගේ සොහොයුරා පොලීසියෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඔහු චෝදනා කරයි.

වග උත්තරකාර නිලධාරීන් විසින් සිය මුහුණ, කට, පපුව, අත් සහ පාදවලට අමානුෂික ලෙස පහර දුන් බවත් මේ හේතුවෙන් තුවාලවලින් ලේ ගැලීම සිදු බවත් පෙත්සම්කරු කියා සිටියේය.

ඉන් අනතුරුව ජූලි මස 10 වනදා හෙරෝයින් මිලිග්‍රෑම් 550ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුනු අතර පෙත්සම්කරුට පොලිස් අත්අඩංගුවේ දී පහරදීම සිදු වී ඇති බවට ඔහුගේ නීතිඥවරයා දැනුම් දීමෙන් අනතුරුව තමන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ජූලි මස 18 වනදා තමන්ව යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී තමන්ව බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් නොකළ බව තමා මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන් බව සඳහන් කළ පෙත්සම්කරු ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කළ බව කියා සිටියේය.

පසුව වෛද්‍ය නවසිවායම් විසින් ඉදිරිපත් කරන  ලද මූල් අධිකරණ වෛද්‍ය වාර්තාවේ තමන් විසින් පරීක්ෂාවට ලක් කළ පුද්ගලයාට බාහිර තුවාල කිසිවක් නොතිබූ බව සදහන් කර තිබුණි.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත් වරයා විසින් කළ නියෝගයකට අනුව වෛද්‍ය ප්‍රනවන් විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් පෙත්සම්කරුට මුහුණ, පපුව, නලල් සහ මැණික් කටුව යන ප්‍රදේශවල තුවාල දක්නට තිබු බව වාර්තා කර තිබුණි.

ඊට අමතරව මෙම පෙත්සම්කරුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳ ඉතිහාසයක් මෙම පරීක්ෂණයේදි සායනික සාක්ෂි අනාවරණය නොවූ බවත් එම වෛද්‍ය වාර්තාව තුළින් අධිකරණයට දැනුම් දී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය “අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇතැයි අධිකරණයේ නිගමනයයි. මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව වගඋත්තරකරුවන් කියයි. එහෙත් ඒ බව තහවුරු කිරීමට වැදගත් වන කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කරන කරුණු තුළින් සැක සහිත තත්ත්වයක් මතුවෙයි. වග උත්තරකරුවන් තමාට සිදු කළ පහර දීම වසන් කිරීම සඳහා  ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය චෝදනාවක් හඳුන්වා දුන් බව පෙත්සම්කරු කියයි. අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින්ද පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉතිහාසයක් නොමැති පුද්ගලයෙකු බව සඳහන් කර තිබේ. ඊට අමතරව මෙම පෙත්සංකරු නිසි වේලාවට අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමටද වග උත්තරකරුවන් අපොහොසත් වී තිබේ. එයද ගැටළු සහගතය. ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේ දී මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වගඋත්තරකරුවන් විසින් කෲර වධ හිංසනයට ලක්කර අමානුෂික සැලකීම්වලට භාජනය කර තිබෙන බව තහවුරු වෙයි.” 

ඒ අනුව වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

END/AdaDerana/MMP/13102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed