කොළඹ වරාය : 2025 පළමු මාස 08 තුල ශුද්ධ ලාභයේ 71% ක වැඩීවීමක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන පරිදී, කොළඹ වරාය 2025 පළමු මාස 08 තුළ රුපියල් බිලියන 32.2 ක ශුද්ධ ලාභයක් ( බදු පසු ලාභය) උපයා ඇත.

2024 වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය වනුයේ රුපියල් බිලියන 18.9 කි. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් පමණ වේ. එය ප්‍රතිශතයක් ලෙස 71% ක වර්ධනයකි.

2025 පළමු  මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11 ක් ඉක්මවීමට සමත්ව ඇත.

අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 08 ට සාපේක්ෂව 6% පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලුම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට  බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

පර්යන්ත සේවා ‍ ගිවිසුම් අලුත් කිරීම හේතුවෙන් අදායම වැඩිවීම, ධාරිතාවය ඉහළ යාම, වියදම් කළමණාකරණය වැනි කරුණු හේතුවෙන් අපේක්ෂිත ඉලක්ක අභිබවා ගිය ලාභයක් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අදහසයි. ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය පත් කිරීමේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ලාභය භාවිත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

END/GONP/MMP/11102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed