අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ වැඩසටහනක් තබ්බෝව වැව පරිශ්‍රයේදී

පරිසර අමාත්‍යාංශය සහ “Clean Sri Lanka” වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් එක් කඩිනම් ව්‍යාපෘතියක්, පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (10) ආරම්භ විය.

මෙම වැඩසටහනේ ප්‍රධානතම කාර්යය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීමයි. එම අරමුණ පෙරදැරිව, “අලි වැටෙන් ඔබ්බට ස්ථිරසාර විසඳුමක් කරා” යන තේමාව යටතේ ජාතික වැඩසටහනක් ලෙස මෙය දියත් කෙරේ.

මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන කාර්ය ලෙස, අලින්ට හිතකර පරිසර පද්ධති නිර්මාණය කිරීම සහ අලි සුපෝෂණ කලාප ඇති කිරීම හඳුනාගෙන ඇත. එහි සමාරම්භක පියවර ලෙස, තබ්බෝව වැව් පරිශ්‍රය ආක්‍රමණය කර තිබූ ජපන් ජබර සහ කළපු අන්දර වැනි ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ තරුණයින්, පරිසර නියමු භටයන් සහ පාසල් සිසුසිසුවියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම ශ්‍රමදාන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන්හ.

මෙම වැඩපිළිවෙළ යටතේ, වනජීවී රක්ෂිත තුළ හායනය වූ වැව් පරිසර පද්ධති පුනරුත්ථාපනය කිරීමටත්, ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමාමායිම් සලකුණු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානයේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ එම උද්‍යානයේදීම ප්‍රජා මූල සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමද සිදු කෙරිණි. මීට අමතරව, ඉදිරි දිනවලදී වනාතවිල්ලුව ප්‍රදේශයේ එලාරිස් වැව සහ අනාථ වැව අලුත්වැඩියා කිරීමටත්, කරුවලගස්වැව විදුලිවැට දෙපස ඇති කැලෑව ඉවත් කිරීමටත්, වනාතවිල්ලුව විදුලිවැට දිගේ ඇති මාර්ගය පිළිසකර කිරීමටත් නියමිතය.

පරිසර අමාත්‍යාංශය සහ “Clean Sri Lanka” වැඩසටහන එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, “Clean Sri Lanka” ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න, අධ්‍යක්ෂක (තොරතුරු තාක්ෂණ) ඉසුරු අනුරාධ යන මහත්වරුද, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියහ.

END/GONP/MMP/11102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed