පොහොසත් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ දී පවතින තත්ත්වය වෙනස් කළ යුතු – නදීක දයා බණ්ඩාර
පවතින තත්ත්වයෙන් ශ්‍රී ලංකාව වඩාත් පොහොසත් ලස්සන රටක් බවට පත් කිරීම සඳහා සාම්ප්‍රදායික සමාජීය වටපිටාව වෙනස් කළ යුතුව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පවසයි.
ඉදිරි සුභවාදී ගමනක් කරා යොමු වීමට නම් පවතින තත්ත්වය වෙනස් විය යුතු බව මෙරට දේශපාලන අධිකාරිය මැනවින් අවබෝධ කර ගෙන සිටින බව ද ඒ මහතා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධාන කළ අලුත් වැස්ස – මහනුවර දිස්ත්‍රික් සංස්කෘතික උළෙලේ සමාරම්භක අවස්ථාව
සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (09) සහභාගීවෙමිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී දෙදිනක කාලයක් තුළ මෙම සංස්කෘතික උළෙල පැවැත්වේ.
ගී විචාර, කවි මඩු, නර්ථන අංග, අංගම්පොර, මැජික් සංදර්ශන ආදී අංග ගණනාවකින් මෙම උලෙළ සමන්විතය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, මෙරට පවතින සාම්ප්‍රදායික පාලනය වෙනුවට මානව දයාවෙන් සපිරි පාලන ක්‍රමයක් බිහි කර ගැනීම අවශ්‍ය වන බව කීවේය. ඒ වෙනුවෙන් වැඩ කරමින් පවතින පරිසරය වඩාත් හිතවාදී පරිසරයක් බවට පරිවර්ථනය කර ගැනීම මහජනය විසින් කර ගත යුතුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
යුද්ධයක් නිර්මාණය කොට මිනිසුන් ඝාතනය කිරීම වැනි අහිතකර තීරණ මෙන්ම භයානක රෝග සඳහා ඖෂධ නිපදවීම වැනි සුභවාදී තීරණ ගැනීමේ හැකියාව මිනිසාට ඇතැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමාජයට සුදුසු මාර්ගය අවබෝධ කර ගැනීම වෙනුවෙන් මිනිසා යොමු කරන්නේ සංස්කෘතිය විසින් යැයි එහිදී පෙන්වා දුන්නේය.
එකම මානව ප්‍රජාවක් විසින් සිදු කරන නිර්මාණ දෙකකදී සමාජයට අත්වන ප්‍රතිඵල ද දෙයාකාර වන බව කී ඒ මහතා සමාජයක් සුබදායක කර ගැනීම සඳහා මනුෂ්‍යා මෙහෙයවීමේ වගකීම කලාව හා සංස්කෘතියට පැවරී ඇතැයි ද සඳහන් කළේය.
මහනුවර පැවැති සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රමය වෙනුවට බහුවිද පර්යන්තයකින් සමන්විත නව ප්‍රවාහන ක්‍රමයක් කරා නගරය පරිවර්ථනය වෙමින් ඇතැයි කී ඒ මහතා ඒ අයුරින් සාම්ප්‍රදායික තත්ත්වයන් නව මාදිලි කරා යොමු කිරීම වත්මන් රජය විසින් සිදුකරමින් පවතින බව තව දුරටත් පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අලුත් වැස්ස සංස්කෘතික උළෙල සඳහා මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය සහ සෙසු ආගමික නියෝජතයන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඒ.ඩී.ආර්.හේරත්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන්, විදුහල්පතිවරුන් ගුරුවර ගුරුවරියන් සහ පාසල් දරු දැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.
