තංගල්ලේ අයිස් සහ හෙරොයින් හතක් අත්අඩංගුවට පත්කරයි!

තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය.

එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් සොයා ගත් අතර එහි තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමට ද  පොලීසියට හැකි විය.

ඒ අනුව මෙම විමර්ශනවලට අදාළව සැප්තැම්බර් 22 වැනිදා සිට ඔක්තෝබර් මස 01 දිනය දක්වා සමස්තයක් වශයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16ක් වන බාලවයස්කරු මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර ඊයේ  (02) සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම මත්ද්‍රව්‍ය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තංගල්ල මූලස්ථාන පොලීසියට භාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එමෙන්ම තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයකදී මෙම ජාවාරම සඳහා ආධාර අනුබල දීම හා හෙරොයින් ළඟ තබා ගැනීම යටතේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා අද තංගල්ල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Copied: https://sinhala.adaderana.lk/news/215269

END/AdaDerana/MMP/03102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *