දරුවන් වෙත සංවේදී වෙමින්, සහකම්පනයෙන් යුතුව ආදරයෙන් දරුවන් ගොඩනගමු! (ගරු ඇමතිතුමියගේ පණිවුඩය)

අද, ඔක්තෝබර් පළමුවෙනි දා, ලෝක ළමා දිනයයි. රටක් ලෙස, ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් මෙවර ළමා දින තේමාව වශයෙන් “ආදරයෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යනුවෙන් නම්කරනු ලැබිණි. අද දිනය සැමරීම සඳහා සැප්තැම්බර් මස 25 වෙනි දා සිට ඔක්තෝබර් මස 01දා තෙක් “ළමා දින ජාතික සතිය” වශයෙන් පුරා සතියක කාලයක් නම් කළ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය, ළමා සුභසාධනය, ආරක්ෂාව සහ බලගැන්වීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එම සතිය පුරා ජාතික ළමා වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරිණි.

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගේ ජාතික ළමා දින පණිඩුඩය මෙයයි.

2025 ලෝක ළමා දින පණිවිඩය
ළමා දිනය අපට මතක් කර දෙන්නේ ඉතා පහසුවෙන් අමතක වන සත්යයකි. එනම්, දරුවන් අද දවසට පමණක් අයත් නොවන බවත් – ඔවුන් අනාගතය වෙතද අයත් බවයි. අපට ඔවුන්ගේ දෑස් තුළින් දිස්වන්නේ දූෂිත නොවන අවංක බවයි, නැවුම් බවයි, නිර්මාණශීලී පරිකල්පනය සහ නිර්භීත බවයි. මෙම ගුණාංග මේ මොහොතේ ලෝකයට අත්යවශ්ය නමුත් දුර්ලභ ගුණාංගයන් වේ. එබැවින් අප වැඩිහිටියන් ලෙස දරුවන්ගෙන් මෙම ගුණාංග ඉගෙනීමට තරම් නිහතමානී වියයුතුය.
සමාජයට නායකත්වය ලබා දෙන පාර්ෂව අතරින් රජය ලෙස “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මැයෙන් ඉදිරිපත් කළ අපගේ ප්රතිපත්ති ප්රකාශය තුළ “සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” යන තේමාව යටතේ දැයේ දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් රජයේ දැක්ම සහ සැලසුම් ඔබ වෙත ඉදිරිපත් කළෙමු.
මුල් ළමා විය දරුවාගේ පටන් පුරවැසියෙකු ලෙස සමාජගත වන තුරු ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, ජාතිකත්වය, ආගම හෝ ස්ත්රී පුරුෂ සමාජභාවය මත වර්ගීකරණයට ලක් නොකර, කිසිවෙකුත් අත නොහැරී සියලු දරුවන්ගේ පෝෂණ, අධ්යාපන සහ රැකවරණ අවශ්යතා සපුරාලීමටත්, සාධාරණ සම්පත් සහ සාධාරණ අවස්ථා උදාකර දීමටත් අපි කටයුතු කරන්නෙමු. දරුවන් වෙනුවෙන් ගනු ලබන සෑම තීරණයක්ම අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් බව අප තරයේ විශ්වාස කරන්නෙමු.
“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන්න තේමා කරගනිමින් සැමරෙන මෙවර ලෝක ළමා දිනය ඔබ, මම ඇතුළු මුළු මහත් සමාජයම තුළ දරුවන් පිළිබඳව වන සංවේදීතාවය වැඩි දියුණු කර ගැනීමටත්, මනා සහකම්පනයක් ගොඩනගා ගනිමින් ඔවුනට තව තවත් සමීප වන්නටත් අවස්ථාවක් කර ගනිමු යන්න සියලු ශ්රී ලාංකික පුරවැසියන් වෙත සහෝදරත්වයෙන් ආරාධනා කරමු.
ඉතින් ආදරණීය දරුවනි! මුළු ලෝකයේම හෙට දවස දෝත දරා සිටින ඔබව අපි පවුරක් ලෙසින් අත්වැල් බඳිමින් ආදරයෙන් සුරක්ෂිත කරන්නෙමු!
END/MMP/01102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *