බස්නාහිර පළාත : ඔක්තෝබර් පළමු දා සිට මගී බස් රථ ප්‍රවේශපත්‍ර අනිවාර්යයි

“මගියෙක් ගොඩ වුණාම ඔහුට බස් රථයේ අංකය, ගමනාරම්භය, ගමන අවසානය, අනුක්‍රමික අංකය, ගමන් ගාස්තුව, ඇතුළත් ටිකට් පතක් ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මගියාගේ වගකීමක් තියෙනවා තමන්ගේ පළමු කඩඉම පටන් ගන්න ඉස්සෙල්ලා තමන් ප්‍රවේශපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම එම ප්‍රවේශපත්‍රය ගමනාන්තය දක්වා තමන්ගේ ළඟ තියාගන්න ඕනේ.. අපි අධිකාරියක් විදිහට තීරණය කරලා තියෙනවා ඔක්තෝම්බර් 01 වැනිදා සිට ටිකට් පත් ලබාදීම, සහ මගියා විසින් ටිකට්පත් ලබා ගැනීම කියන දෙකම අනිවාර්ය කරලා තියෙනවා. “  යැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසීය.

ඔහු එසේ පැවසුවේ ඔක්තෝබර් පළමු දා සිට බලපැවැත්වෙන බස් රථ ගමනා ගමනයේ නීති රෙකුලාසි පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවක දී ය.

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට  ඔක්තෝබර් මස පළමු දා  (01) සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසූ අතර ,      ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බව එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න පෙන්වා දුන්නේ ය.

ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය වේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජාසිංහ,

“මේකෙදි යම් කිසි අවස්ථාවක කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබා නොදී ඉන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මගියා විසින් ටිකට් පතක් ලබා නොගන්නේ නම් ඔහුට නීත්‍යානුකූලව කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා. ඒකෙදි මගියා ටිකට්පතක් ලබා නොගන්නේ නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන්වාරය වගේ දෙගුණයක ගමන් ගාස්තුවක් අය කරන්න අපි තීරණය කරලා තියෙනවා.”  යැයි ඔහු අවධාරණය කළේය.

END/MMP/30092025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *