ධීවර දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් සුවිශේෂී මූල්‍යාධාර
ධීවර දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් සුවිශේෂී මූල්‍යාධාර ලබාදෙන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මේ බව පැවසුවේ සැප්තැම්බර් 25 දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු ජනාධිපති අරමුදලේ කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ය.
මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්රසේකරර් මහතා, වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරූන් හේමචන්ද්‍රා මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් හා ජනාධිපති අරමුදලේ ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුගත් යාලේගම මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකයට සහ ජනතාවට ප්‍රෝටීන සැපයීමට විශාල දායකත්වයක් සපයන ධීවර කර්මාන්තයේ නියැලෙන්නන්, දීර්ඝ කාලයක් තිස්සේ දුෂ්කරතා සහ සමාජයේ කොන්වීම්වලට ලක්ව සිටින බවයි. අතුරුදන් වූ, අනතුරට පත් වූ හෝ විදේශ රටවල සිරගත වූ ධීවරයන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ජීවිත බිඳවැටීමට ලක්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය වෙනස් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති අරමුදල හරහා සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මූල්‍යාධාර ලබාදෙනු ඇත. සාමාන්‍ය පෙළ සිසුන්ට මාසිකව රුපියල් 3,000ක්, උසස් පෙළ සිසුන්ට මාසිකව රුපියල් 5,000ක් සහ විශ්වවිද්‍යාල සිසුන්ට මාසිකව රුපියල් 8,000ක් (වසරක් සඳහා) ලැබෙනු ඇත. මෙම අරමුදල දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහ අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ලබාගත හැකි බව අමාත්‍යතුමා අවධාරණය කළේය.
ඊට අමතරව ධීවර අමාත්‍යාංශය විසින් රක්ෂණ ආවරණ ක්‍රමවේදයක්ද සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු පීඩාවට පත් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ, තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් අදාල අයදුම්පත් පුරවා සහන ලබාගන්නා ලෙසයි. එසේම, මෙම වැදගත් තොරතුරු ධීවර ප්‍රජාව වෙත නිවැරදිව දැනුවත් කිරීමට සහාය වන ලෙස මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය.
END/GONP/MMP/27092025
