“තල් අරඹෙන් රුහුණුපුරට” තරුණ හුවමාරු වැඩසටහනේ සමාරම්භක උත්සවය අක්මීමන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී
ජාතිවාදී ආගම්වාදී, වර්ගවාදී මතබේදාත්මක ගැටුම්වලට මූලික හේතුවක් වන එකිනෙකාගේ සංස්කෘතීන් අතර ඇති අනවබෝධය, සන්නිවේදනයේ පවතින දුර්වලතාවයක් ලෙස හදුනාගෙන ඇති අතර එම දුර්වලතාවය මගහරවා ගනිමින් තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණුපුරට” තරුණ හුවමාරු වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (23) අක්මීමන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
මෙහිදී වවුනියාව දිස්ත්රික්කයෙන් පැමිණී තරුණ තරුණියන් මහත් හරසරින් යුතුව පිළිගැනීම අක්මීමන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ තරුණ තරුණියන් විසින් සිදු කරනු ලැබීය.
වවුනියා දිස්ත්රික්කයේ තරුණ තරුණියන් විසිදෙනෙකු සහ ගාල්ල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් විසිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාල්ල, අක්මීමණ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කඳුරුගමුව ග්රාම නිලධාරී වසමේදී 26 වන දින දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
වවුනියාවේ සිට පැමිණෙන තරුණ තරුණියන් විසිදෙනා අක්මීමන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි තරුණ තරුණීයන්ගේ නිවෙස් වල නතරවී සහෝදරත්වය බෙදාගනිමින් එක්ව ජීවත් වෙමින් කාලය ගත කිරීමට නියමිත අතර, මෙම වැඩසටහන ක්රියාත්මක වන දින හතර ඇතුළත ගාල්ල ප්රදේශයේ ඇති සංස්කෘතිකමය ස්ථානයන් හා ආගමික ස්ථානයන් ඇතුලු විනෝදාස්වාදය සපයන ස්ථානයන් නැරඹීමට ද සහභාගී වනු ඇත.
