‘ආකාස’ ජය ගනියි! දුම්රිය ස්ථානවල ප්‍රවේශ පහසුකම් සලසන්නැයි අධිකරණයෙන් තීන්දුවක්!!
උතුරු පළාත් දුම්රිය මාර්ගයේ මහව සිට වව්නියාව දක්වා අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් සලසන ලෙස අනුරාධපුර මහාධිකරණය විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට එම අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට මේ මස – සැප්තැම්බර් 18 වන දා නියෝග කළේ ය. පෙත්සම්කාරියට මුදලින් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද වගඋත්තරකරුවන්ට නියෝග කරනු ලැබිණි.
නඩු තීන්දුවෙන් අනතුරුව, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරු පැවසූ පරිදී, මෙරට මහාධිකරණයකින් මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවට සනිටුහන් කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් විසින් මෙම නඩු තීන්දුව ප්රකාශයට පත් කළ බවයි.
ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට වව්නියාව දක්වා කොටසේ ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී ප්‍රවේශ්‍යතා රෙගුලාසිවලට අනුකූල නොවී, එම දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත්වැඩියා කර ඇති බවට චෝදනා කරමින් , පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීන්දුව ගෙන ඇත.
අනුරාධපුර ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ (AKASA) සභාපති නාරායන ගෙදර කමලාවතී යන අය විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරන ලදී.
“ඊයේ මගේ ජීවිතයේ අමතක නොවන දවසක්. මෙම ජයග්රහණය ගැන මම ගොඩාක් සතුටුවෙනවා. මේ ජය , සතුට අපි හැමදෙනාටමයි” යනුවෙන් කමලාවති පැවසීය.
එමෙන් ම විනිසුරුවරයාගේ වචන ඇගේ සිත තව තවත් ශක්තිමත් කළ බව ද ඇය කීවේය. ” අපේ අයිතිවාසියකම් වෙනුවෙන් තව තවත් පෙනී සිටින්නට මේ නඩු තීන්දුව මගේ සිතට තදින්ම බලපෑවා. අප වෙනුවෙන් සාධාරණ විනිශ්චයක් ලබා දීම ගැන මම ඔහුට ගරු කරකනවා.” යැයි නාරායන ගෙදර කමලාවතී මෝජෝ පුවත් සමග වැඩිදුරටත් පැවසීය.
සටහන සහ ඡායාරූපය – මෙලනි මානෙල් පෙරේරා
