“ක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟින් ඇරඹේ

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවේ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ අසලදී ඊයේ (17) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ අනුව තොටළඟ කොළඹ මහ නගර සභාවට අයත් භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආරක්ෂණීය නාගරික වන වගා භූමියක් ලෙස සංවර්ධනය කර ඇත.

පාරිසරික වටිනාකමකින් යුත් මෙම පැළ ආරක්ෂා කර රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස මාදම්පිටිය ශ්‍රී සංඝබෝධී මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන් වෙත වගකීම් පැවරීම මෙහි විශේෂත්වයකි.

එම අවස්ථාව සනිටුහන් කරමින් පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

සීමාසහිත කැපටල් මහාරාජ සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන “තුරු කැපකරු” වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒකාබද්ධ වෙමින් ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන්, කැපිටල් මහාරාජ සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර යන මහතම මහත්මීහු, නාගරික මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/18092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *