මතුගම සී. ඩබ්ලිව් .ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ පීඨය සහ කාය වර්ධන මධ්‍යස්ථානය සිසු අයිතියට
මෙරට නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයා ලෙස සැලකෙන සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයේ ප්‍රථම මධ්‍ය විදුහලවන මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණ පීඨය එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිසු අයිතියට පත් කෙරිණි. මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇත.
මීට සමගාමීව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් සෙනෙවිරත්න මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් පාසල් පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශාරීරික සුවතා මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ සුරතින් සිසු අයිතියට කරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ද වේ. ඒ මහතා මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු අමාත්‍යවරයෙකු ලෙස සිය පාසල වෙත ගිය මුල් ම අවස්ථාව මෙය විය.
වර්තමානය වන විට මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 4500 කි. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුන් ගණන 250කට අධික වන අතර මෙම නව තාක්ෂණ පීඨය විවෘත කිරීමත් සමඟ එම සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු වඩාත් ඵලදායීව, කාර්යක්ෂමව හා ගුණාත්මක අයුරින් සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.
