නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් හෙට සහ අනිද්දා ජනතා අයිතියට
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නන්වා ඇති අතර ඒ යටතේ වූ ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සහ අනිද්දා (19) දෙදින තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ඒ අනුව මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ ඉදි කරනු ලබන හෘද රෝග ඒකකයේ පළමු අදියර විවෘත කිරීම, කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රුපියල් මිලියන 150 ක පිරිවැයක් යටතේ ඉදිකරන ලද සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කිරීම, පොතුවිල් මූලික රෝහලේ ඉදිකරන ලද ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම ප්‍රධාන වේ.
මීට අමතරව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරමින් පවතින හදිසි අනතුර ඒකකය සහ හෘද රෝග කැතීටකරණ ඒකකයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලීමට ද නියමිතය.
මඩකලපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 05 කින් යුක්ත වේ. වර්ග මීටර් 4,328 කින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ බිම් මහලේ සායන, එක්ස් කිරණ එ්කක (X-Ray) සහ ECG පරීක්ෂණ ඒකක වලින් යුක්ත වන අතර, පළමු මහල කැතීටරීකරණ රසායනාගාරය (කැත් රසායනාගාරය) සහ කිරීටක සත්කාර ඒකකය (CCU) කින් යුක්තය. දෙවන මහල ශල්‍යාගාර සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) කින් යුක්ත වන අතර, තුන්වන සහ හතරවන මහල් ඇඳන් 80 කින් යුත් වාට්ටු වලින් සමන්විතය.
මෙහි ඉදිකිරිම් කටයුතුවලට අදාළ උපදේශන සේවා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබයි.
කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රුපියල් මිලියන 150 ක පිරිවැයක් යටතේ ඉදිකරන ලද මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලේ බිම් මහලේ භෞත චිකිත්සක ඒකකයකින් මෙන්ම පළමු සහ දෙවන මහල් ගෙවන වාට්ටු වලින් ද යුක්ත වේ. ඉහළ මහල ශ්‍රවණාගාරකින් සහ අධ්‍යක්ෂ කාර්යාලයකින් ද යුක්ත ය.
නැගෙනහිර පළාතේ ඉහත රෝහල් සංවර්ධන කටයුතු ආරම්භ කිරිම මෙන්ම ජනතා අයිතියට පත් කිරීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තිරුක්කෝවිල් රෝහල, අක්කරපත්තුව රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක සෞඛ්‍ය සේවා කටයුතු නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතය.
