මන්නාරම මහ රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600 ක්!

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු ජනරජ රජය සහ ශ්‍රී ලංකා ‍රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම  ඊයේ  (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත්  ශක්තිමත් කිරීම සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහත කටයුතු සිදු වූ අතර, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහතා අතර සිදු විය.

අවබෝධතා ගිවිසුමට අනුව ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියට අදාළව වැය කිරීමට නියමිත ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 600 ක් වන අතර, ව්‍යාපෘති කාලසීමාව වසර 03 කි.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය දැක්වීමට ඉන්දීය රජය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස් ශ්‍රිධර්න්, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, අධ්‍යක්ෂ (සැලසුම්) විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් ද එක්ව සිටියහ.

END/IHC/MMP/10092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed