නියෙලෙනි 3 වන ගෝලීය සමුළුවේ සමාරම්භක උත්සවය මහනුවරදී

ආහාර ස්වෛරීභාවය සඳහා වන නියෙලෙනි 03 වන ගෝලීය සමුළුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යංශයේ මගපෙන්වීම අනුව ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ පූර්ණ සහයෝගය ඇතිව මහනුවර පොල්ගොල්ලේ පිහිටි එම ආයතන පරිශ්‍රයේදී පසුගියදා (08) පෙරවරුවේ ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන්ගේ  සහභාගිත්වයෙන් පැවැත්විණි.

සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක දෙකක කාලයක සිට ආහාර නිෂ්පාදනය, අගය එකතු කිරීම, සමුපකාර හා විකල්ප වෙළෙඳපොළ මෙන් ම තමන්ගේ  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, වතුකර ජනතාව, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ක්‍රියාකාරීන්, නායකයින් හා බහුජන ව්‍යාපාරයන්හි නියෝජිතයන් 300 කට වැඩි පිරිසක් සහභාගී විය.

දින 10ක් පුරා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ගෝලීය සමුළුව සඳහා රටවල් 102 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 700 ක් පමණ සහභාගී වන අතර සමුළුවට  සමගාමීව සමුපකාර කෘෂි නිෂ්පාදන වෙළෙඳ කුටි හා ප්‍රදර්ශන, දැනුවත් කිරීමේ වැඩමුළු,  සංස්කෘතික ප්‍රසංග ඇතුලු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වේ.

‘නියෙලෙනි’ ගෝලීය එකතුව නියෝජනය කරනු ලබන්නේ එක්සත්  ජාතීන්ගේ ආහාර හා ස්වෛරීත්වය සඳහා වන ජාත්‍යන්තර සැලසුම් කමිටුවයි.

මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ආහාර ස්වෛරීභාවය, පරිසර විද්‍යාත්මක ගොවිතැන, දේශගුණික යුක්තිය, සමුපකාර මූලික කොටගත් සහයෝගීතා ආර්ථික මොඩලයක් වර්ධනය කිරීම, ආහාර නිෂ්පාදනයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු සහ ප්‍රවණතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමයි. එමෙන්ම ජනතාවගේ හා පරිසරයේ අනාගත පැවැත්ම තහවුරු කරගැනීම සඳහා වන ගෝලීය, මහද්වීපික සහ දේශීය උපාය මාර්ග පිළිබඳ විකල්පයන් එකිනෙකා අතර පෝෂණය කර ගැනීම ද මෙහි තවත් අරමුණකි.

නියෙලෙනී සමුළුවේ පළමු හා දෙවන සමුළු දෙක 2007 හ 2015 වර්ෂවල මාලි රාජ්‍ය තුළ පැවැත්වුණු අතර මෙවර එහි තෙවන සමුළුව ශ්‍රීලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී ඇත්තේ 2022 වර්ෂයේ දී ශ්‍රීලංකාව තුළ ඇති වූ ජනතා අරගලයත් 2024 වර්ෂයේ දී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව බිහි වූ වාමාංශික ආණ්ඩුවක් සහිත නව රජයේ වැඩපිළිවෙළ හේතුවෙනි.

END/GONP/MMP/10092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed